වාස් යළිත් වේග පන්දු උපදේශක තනතුරට

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය එකඟ වූ මුදලට වඩා වැඩි දෛනික මුදලක් ඉල්ලා සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණු උපදේශක තනතුරෙන් ඉවත් වූ චමින්ද වාස් මහතා යළි එම තනතුරට පැමිණීමට කැමැත්ත පළ කරයි.

වේග පන්දු පුහුණු උපදේශක තනතුරෙන් ඉවත්වන බවට කලින් දුන් ලිපිය ඉවත් කර ගැනීමට චමින්ද වාස් මහතා සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානමින් සිටි චමින්ද වාස් මහතා අවසන් මොහොතේ එම සංචාරයෙන් ඉවත් විය. ඒ සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සති කිහිපයකට කලින් නිවේදනය කළේ ඔහුට දීමට එකඟ වූ මුදලට සංචාරය වෙනුවෙන් ලැබෙන අනෙකුත් දීමනා ඇතුළත් නොවූ බවත්, මුළු මහත් ලෝකයම මූල්‍යමය වශයෙන් අපහසුතාවයන්ට මුහුණපා සිටින අවස්ථාවක තමන්ගේ පෞද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණු උපදේශක තනතුරෙන් ඉවත් වීමේ වගකීම් විරහිත සහ හදිසි තීරණය පිළිබඳ කනස්සල්ල පළ කරන බවත්ය.

බටහිර ඉන්දීය කොදෙව්හී දින 28ක සංචාරය වෙනුවෙන් දිනකට දෙන අමෙරිකානු ඩොලර් 75ක මුදල වෙනුවට අමෙරිකානු ඩොලර් 200ක් ඉල්ලා සිටීමෙන් මේ ගැටලුව නිර්මාණය වූ බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය. කොදෙව් සංචාරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 7.5ක මුදලක් ඔහුට අනිවාර්යයෙන් ගෙවීමට එකඟ වී තිබියදී මේ දෛනික දීමනා ප්‍රශ්නය මතුවූ බව පැවසිණි.

කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ වාස් මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය අගය කරන බව ද සඳහන් කර තිබිණි. කොදෙව් සංචාරය වෙනුවෙන් එකඟ වී තිබූ මුදල චමින්ද වාස්ගේ අත්දැකීම් පිළිබඳ සලකා බලා තීරණය වූ මුදලක් බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.

Related posts

Leave a Comment