බුර්කා තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

මෙරට තුළ බුර්කාව පැළඳීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (15) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජන සැළකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බවයි මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවැසුවේ.

මෙරට තුළ ප්‍රසිද්ධ ස්ථානවල සිය අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි පරිදි සම්පූර්ණයෙන්ම මුහුණ සඟවාලන ඇඳුම් නොපැළැදිය යුතු බවට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වුණේ 2019 වර්ෂයේ මැයි මස 19 වැනිදායි.

එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ විජිත් මලල්ගොඩ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයන්ට අනුවයි.

ඒ අනුව සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස මුහුණු ආවරණ පැළැදීම තාවකාලික තහනමක් බවට පත්වූ අතර අද ඉදිරිපත් කරන නව කැබිනට් පත්‍රිකාව මඟින් එම තාවකාලික තහනම ස්ථීර තහනමක් ලෙස ක්‍රියාත්මක වනු ඇති.

මෙවන් පසුබිමක පකිස්තානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ බුර්කාව තහනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගැනීමට යන ක්‍රියාමාර්ගය හේතුවෙන් පිට රට සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ හා සමස්ත ගෝලීය මුස්ලිම් ප්‍රජාවගේ හැගීම් වලට හානියක් විය හැකි බවයි.

Related posts

Leave a Comment