ලෝක බලවතුන්ගේ “G -7” සමුළුව ඇරඹෙයි

අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු ලොව බලවත් රටවල් හතකින් සමන්විත ‘ජී-7‘ (Group of Seven) 47 වැනි සමුළුව කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය මැද ඊයේ නිරිතදිග එංගලන්තයේ වෙරළබඩ කෝර්න්වෝල් ප්‍රාන්තයේදී ආරම්භ කෙරිණි. ලොව පුරා රටවල් අතට වැඩි අවධානයක් යොමුවන ‘ජී-7‘ සමුළුවේදී මෙවර දිළිඳු රටවල්වලට කොවිඩ් මර්දන එන්නත් බිලියනයක් පරිත්‍යාග කිරීමේ යෝජනාවට සෙසු රටවල එකඟතාව පළ වනු ඇතැයි සත්කාරක බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් බලාපොරොත්තු වෙයි. ඒ අනුව ලබන වසරේ අවසන් භාගය වනවිට දිළිඳු රටවල් අතරේ එම එන්නත් තොගය බෙදා දීමට හැකි වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා විශ්වාසය පළ කරයි.

ඔහු මේ ප්‍රකාශය නිකුත් කළේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මිලියන 500ක් පරිත්‍යාග කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුය. බ්‍රිතාන්‍යය ද කොවිඩ් මර්දන සටනට එක්වෙමින් මිලියන 100ක එන්නත් තොගයක් දුප්පත් රටවල්වලට පරිත්‍යාග කිරීමට කටයුතු යොදන බව බොරිස් ජොන්සන් කීවේය. දින තුනක් පුරා පැවැත්වෙන මෙවර ‘ජී-7‘ සමුළුවට එහි සාමාජික රටවල් වන බ්‍රිතාන්‍යය, අමෙරිකාව, කැනඩාව, ප්‍රංසය, ජර්මනිය, ජපානය සහ ඉතාලිය හැරුණු විට යුරෝපා සංගමයේ නියෝජිතයන් ද සහභාගි වන අතර, එහි සාමාජිකයන් නොවූව ද, තවත් ප්‍රබල රටවල් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාව රටවල්වල රාජ්‍ය නායකයන්ට ද ඇරියුම් කිරීමට බොරිස් ජොන්සන් පියවර ගත්තේය.

70 දශකයේ මුල් භාගයේදී ලෝක තෙල් අර්බුදයට විසඳුම් සෙවීමට පිහිටුවා ගත් මේ සමුළුවට 1997දී රුසියාවත් එක්වීම නිසා එය ‘ජී-8‘ සමුළුව ලෙස නම් කර තිබූ අතර, 2014 වසරේදී යුක්රේනයට අයත් අර්ධද්වීපය තම රටට ඈඳා ගැනීමට කටයුතු කිරීම නිසා රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබීය.

Related posts

Leave a Comment