ඉන්දීය ක්‍රිකට් පිල 28 ශ්‍රී ලංකාවට එයි

සීමිත ඕවර තරගාවලියක් සඳහා සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩයාම මේ මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරිත්වය යටතේ මෙරටට පැමිණෙන ඉන්දීය කණ්ඩායම 29 වැනිදා සිට ජූලි 1 වැනිදා තෙක් හෝටල් කාමර තුළ නිරෝධායනයට ලක් වනු ඇත. අනතුරුව ජූලි 2 දා සිට 4 වැනිදා දක්වා නිරෝධායනයට ලක්වන අතරතුර පුහුණුවීම් සඳහා එක්වීමට අවසර ලැබෙන ඉන්දීය පිලට නිරෝධායනය නිමා කිරීමෙන් පසු ජූලි 5 වැනිදා සිට 12 වැනිදා දක්වා සාමන්‍ය පරිදි පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව හිමි වෙයි.

එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් තරගාවලියේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වෙනු ඇත. තරගාවලිය ජූලි 13 සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ සංවිධාන වන තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජූලි 13 වැනිදාය. විස්සයි20 තරගාවලිය ජූලි 21 වැනිදා ආරම්භ වන අතර, එක්දින තරග දිවා රාත්‍රී ලෙසත්, විස්සයි20 තරග රාත්‍රී ලෙසත් පැවැත්වෙනු ඇත. මෙලෙස ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන්නේ වසර 3කට පසුවය. ඔවුන් අවසන් වරට මෙරටදී තරගාවලියකට එක් වූයේ 2018 වසරේ මාර්තු මාස පැවැති නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදීය.

මේ අතර, තරගාවලිය සඳහා වන සංචිතය ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ අතර, කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ට පැවරී තිබේ. ඊට ක්‍රීඩකයන් 20 දෙනකු ඇතුළත්ව සිටින අතර, ඔවුන්ට අමතරව දැල් තුළ පන්දු යවන්නෝ පස්දෙනෙක් ද සංචාරයට එක් වෙති. ජාතික කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් රැසක් විරාට් කෝලිගේ නායකත්වයෙන් යුතුව එංගලන්තයේ තරග සංචාරයකට එක්ව සිටින අතර, අනතුරුව ඔවුන් අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ද එක් වීමට නියමිත බැවින් ශිකර් ධවාන්ට මේ කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ. ධවාන් කණ්ඩායමට නායකත්වය දෙන පළමු අවස්ථාව මෙයයි. ඔහුගේ උප නායකයා ලෙස බුවනේෂ්වර් කුමාර් කටයුතු කරනු ඇත.

මේ සංචිතයට නවක ක්‍රීඩකයන් රැසක් එක්ව සිටින අතර, ඊට 20 හැවිරිදි මුල් පෙළ පිතිකරු දෙව්දත් පඩික්කාල්, 27 හැවිරිදිතුන් ඉරියව් ක්‍රීඩක නිතිෂ් රානා සමඟ පන්දු යවන්නන් වන 24 හැවිරිදි රුතුරාජ් ගයික්වාඩ්, 29 හැවිරිදි වරුන් චක්‍රවර්ති,23 හැවිරිදි චෙතන් සකාරියා සහ 32 හැවිරිදි ක්‍රිෂ්ණප්පා ගෞතම් ද ඒ අතර වෙති. මේ ක්‍රීඩකයන් සියලු දෙනා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ වෙති.

ඉන්දීය සංචිතය – ශිකර් ධාවන් (නායක), බුවනේශ්වර් කුමාර් (උප නායක), ප්‍රිත්වි ෂෝ, දේව්දත් පඩික්කාල්, රුතුරාජ් ගයික්වාඩ්, සූර්යකුමාර් යාදව්, මනීෂ් පාණ්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, නිතිෂ් රානා, ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා), සංජු සැම්සන් (කඩුලු රකින්නා), යුස්වේන්ද්‍ර චාහල්, රාහුල් චාහර්, ක්‍රිෂ්ණප්පා ගෞතම්, කෘනාල් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, දීපක් චාහර්, නවදීප් සනියි, චෙතන් සකරියා.

තරග කාල සටහන (එක්දින)

ජූලි 13 පළමු එක්දින තරගය (දිවා/රාත්‍රී)

ජූලි 16 දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී)

ජූලි 18 තෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී)

(විස්සයි20)

ජූලි 21 පළමු විස්සයි20 තරගය (රාත්‍රී)

ජූලි 23 දෙවැනි විස්සයි20 තරගය (රාත්‍රී)

ජූලි 25 තෙවැනි විස්සයි20 තරගය (රාත්‍රී)

නිරෝෂාන් ප්‍රියංකර

Related posts

Leave a Comment