නැවේ ගින්නෙන් මෙරටට වුණු හානියට කෝටි 808ක මූලික අතුරු වන්දියක් ඉල්ලයි !

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ  ගින්නෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් මූලික අතුරු වන්දියක්. වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක් (රුපියල් කෝටි 808ක් පමණ) දැනට සතියකට පෙර ඉල්ලා ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පපවසයි.

මෙම පළමු අතුරු හිමිකම් වන්දිය ලබා ගැනීමට මේ වන විට මෙරට නීතිපතිවරයා ජාත්‍යන්තර නැව් සමාගම් සමග සාකච්ඡා කරන බවද, සියලූ ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීමට විධිමත් ලෙස වන්දි ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

එම නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සඳහා අදාළ සියලූ ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි සාකච්ඡා කරමින් සිටින බවත්, මේ වන විටත් සිදු වූ හානිය සම්බන්ධයෙන් පළමු අතුරු හිමිකම් පෑමක් ලෙස මැයි මස 23 වැනිදා සිට ජුනි 03 වැනිදා දක්වා දින දහයක කාලය තුළ රජයේ ආයතනවලට වැය වූ වියදම් හා රටට වූ හානිය පිළිබඳව වන්දියක් ඉල්ලා ඇති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි .

නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් වූ ප‍්‍රධාන හිමිකම් පෑම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා කමිටු 05 ක් පත් කර ඇති බවත් එම කමිටු ඉතා කඩිනමින් මේ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කරයි .

එමෙන්ම ගින්න හේතුවෙන් හානියට පත් බාහිර පාර්ශ්වයන් සඳහා තමන්ට වූ හානිය පිළිබඳව දැනුම් දීමට වෙනම ක‍්‍රමවේදයක් සකස් කර ඇති බවත්, ඒ වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙම සිද්ධියෙන් පීඩාවට පත් ජනතාව සිද්ධිය ඇති වීමට පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු පවසයි .

මෙරටට සිදු වූ හානිය සම්බන්ධව අදාළ වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයන් තිදෙනකු මෙරටට පැමිණීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් මෙරට ආර්ථිකයට, පරිසර පද්ධතියට, ධීවර කටයුතුවලට මෙන්ම විවිධ ක්ෂේත‍්‍රවලට විශාල වශයෙන් බලපෑම් ඇතිව තිබෙන බැවින් ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට පසුගිය 06 වැනිදා පැවති සාකච්ඡාවේ දී පත් කළ කමිටු විසින් මීට අදාළව සිදු කර ඇති කාර්යයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ගින්නෙන් මෙරටට සිදු වූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලූ ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීම සඳහා නීතිපතිතුමාට අවශ්‍ය සහාය ලබාදීම පිළිබඳව මෙම සාකච්ඡාව ඊයේ (14) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Related posts

Leave a Comment