මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජා පින්කම 59 වැනි වරටත් පැවැත්වේ

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මහජනතාවගේ සහභාගිත්වයෙන් තොරව ලේක්හවුස් ආලෝක පූජා පින්කම ඇතුළු ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැන දෙමින් මිහින්තලා රාජමහා විහාර පුදබිම කේන්ද්‍ර කර ගෙන සිදු කරන බව පොසොන් උත්සව කමිටු සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේය.

පොසොන් උත්සව කටයුතු සම්බන්ධයෙන් මිහින්තලා රාජමහා විහාරාධිපති, ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පසුගියදා (11දා) මිහින්තලා මැද මළුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් දිසාපතිවරයා තවදුරටත් මෙසේ පැවසීය.

පසුගිය වසර තුන තුළම පොසොන් උත්සවය නිසි ලෙස පැවැත්විමට හැකි වුණේ නැහැ. පාස්කු ප්‍රහාරය හා කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පොසොන් උත්සවය වෙනදා මෙන් සැමරීමට නොහැකි වුණා.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි ප්‍රධාන රුවන්මැලි මහා සෑ විහාරාධිපති, මිහින්තලා රජමහා විහාරාධිපති, තන්තිරිමලය රාජ මහා විහාරාධිපති යන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පසුගිය වසර කිහිපයේදී පොසොන් උත්සවය ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දෙමින් මහජන සහභාගීත්වයෙන් තොරව සිදු කිරිමට කටයුතු කළා. වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර පොසොන් උත්සවය සැමරීමට සිදුවන්නේ මහජන සහභාගිත්වයෙන් තොරවයි. පොසොන් උත්සවය ජාතික උත්සවයක් ලෙස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් චාම් අන්දමින් මහින්දාගමනය සැමරුම සිදු කළ යුතුව ඇති බවද හෙතම පැවසීය.

ඒ අනුව මහින්දාගමනයේ අර්ථය ලෝකයට ප්‍රකාශ කිරිම සඳහාත්, රටටත් මුළු ලොවටත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම යන කරුණු මුල් කර ගෙන මෙවරත් පොසොන් උත්සව සැමරුම සිදු කිරීමට තිරණය කර තිබෙනවා.

පොසොන් පොහොය මේ මස 24 දිනට යෙදෙන අතර ඒ අනුව මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගෙන මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පින්කම 23,24 හා 25 යන දිනයන් හි දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම පොසොන් උත්සවයට සමගාමිව සතියක් පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම ද සිදු කෙරේ. පවතින තත්ත්වයත් සමඟ ජනතාවට සහභාගි විමට නොහැකි තත්ත්වයක් තුළ ජාතික අධ්‍යාපන ආයතනයේ සහා එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතුව ඩිජිටල් පොසොන් කලාපයක් පැවැත්වීමට කටයුතු කිරීම ඉතා වැදගත් කටයුත්තක් බවද හෙ‍ෙතම පැවසිය. මෙම ඩිජිටල් පොසොන් කලාපයේ වුවද නැටුම් ගැයුම් වැයුම්වලට මුල්තැන දෙනවාට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මිහිදු මාහිමි දෙසු දහමේ අර්ථය හා මිහිඳු මහා හිමියන්ට කෘතගුණ දැක්විම සුදුසු වන බවද හෙතම පැවසිය.

‍රාජ්‍ය පොසොන් උත්සවයට බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ ක‍ටයුතු කොමසාරිස්වරයා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මිහින්තලා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ලේක්හවුස් ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහයෝගය ඇතිව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් සිදු කිරීමට කටයුතු කරන බවද හෙතම වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

Related posts

Leave a Comment