රාජ්‍ය සහ පෞද්ගලික අංශය සීමිත සේවක සංඛ්‍යාවකින් පවත්වාගෙන යන්න – ජනපති

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පවතින සංචරණ සීමාවන්ට යටත්ව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවයි.

එසේම, සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. මේ අතර කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන එවැනි මරණ වල අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් එල්ල වන චෝදනා සැළකිල්ලට ගෙනයි ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දුන්නේ. මේ අතර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 21 වන සඳුදා අලුයම 4 සිට ඉවත් කිරීමටද මෙහිදී තීරණය වුණා.

එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.ජුනි මස 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා උදාසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවතත් ක්‍රියාත්මක කෙරෙනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවයි.

Related posts

Leave a Comment