පරිසරය රකින්න කතා කරන ජවිපෙ රසායනික පොහොර ගොවීන්ට දෙන්නලු!

“සොබා දහම, පරිසරය පිළිබඳ කතා කරන ජනතා විමුක්ති පෙරමුණ අද රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක ගොවියන්ට දෙන්න යැයි කියනවා” යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනූප පස්කුවල් කීවේය. 

රටේ අනාගතය පිළිබඳ සිතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ගෙන ඇති රසායනික පොහොර තහනම පිළිබඳ අදහස් දක්වමින් අනූප පස්කුවල් මේ අදහස් පළ කළේය.

“අද මේ රටේ කාබනික පොහොරවලට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින්, රසායනික පොහොර ඉල්ලා අහිංසක ගොවි ජනතාව මුළා කරමින් සිටින්නේ අවස්ථාවාදී දේශපාලකයන් පිරිසක්. සැබෑ ලෙසට ගොවීන් කාබනික වගාවට කැමැතියි. ජනතා විමුක්ති පෙරමුණ පවා රසායනික පොහොර ඉල්ලන තැනට වැටී තියෙනවා. මෙයාලගේ ප්‍රතිපත්තිය මේකද?

රසායනික පොහොර සමාගම් මත යැපෙන පිරිසක් ජන මතයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. රසායනික පොහොර ව්‍යාපාරිකයන්ගේ මුදල් මත යැපෙන පිරිසක් කාබනික පොහොරවලට විරුද්ධ ව්‍යාපාරයක් ගෙනයන්න පටන් ගෙන තියෙනවා. මේ රටේ සැබෑ ගොවියා කාබනික පොහොරවලට කැමැතියි. නමුත් මේ රටේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලින් යැපෙන පිරිසක් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට බාධා කරමින් තියෙනවා. මේ ඇත්ත වසං කරන බොරු අවස්ථාවාදී දේශපාලනය පරාජය කළ යුතුයි.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළ පැහැදිලිවම කාබනික වගාව පිළිබඳ සඳහන් කර තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසරක් ගතවන තුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදී තිබුණා. ඒ අනුව යම් මට්ටමින් ක්‍රියාත්මක කළා. අවශ්‍ය ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවූ නිසා ඒ වැඩපිළිවෙළ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව දැඩි තීන්දුවක් ගත්තා. නමුත් මේක හදිසි තීන්දුවක්, තීරණයක් නෙවෙයි. මේ ආණ්ඩුවට බලයට පත්වන්න ජනතාව හමුවට යන අවස්ථාවේදීත් පැහැදිලි කළා. ජීව පොහොර භාවිතය කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර මේ රටේ ජන ජීවිතය විනාශ කරන බව පෙන්වා දුන්නා. එම නිසා මේක හදිසි තීන්දුවක් නෙවෙයි. දිගුකාලීනව සොයා බලා, සැලසුම් සහගතව ගත්ත ඉතාම හොඳ තීන්දුවක්.

අනුරාධපුර කලාපයේ පමණක් මේ වන විටත් වකුගඩු රෝගීන් ලක්ෂ එකහමාරකට වඩා ඉන්නවා. මේ නිසා මිය යන ප්‍රමාණය ඉතා විශාලයි. ආණ්ඩුව මේ වෙනුවෙන් වැය කරන මුදල අති විශාලයි. 

මීට අමතර බෝ නොවන විශාල රෝගාබාධ රැසකට මේ රටේ ජනතාව ගොදුරු වෙලා සිටිනවා. මේ රෝගවලට හේතුව කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර භාවිතය බව තහවුරු වෙලා තියෙනවා. 

රසායනික පොහොර ආනයනය සඳහා වැය කරන සියලුම මුදල් මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදනයට යොදවා තිබෙනවා. අති විශාල මුදල් ප්‍රමාණයක් දේශීය ව්‍යාපාරිකයාට ලැබෙනවා. දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් වන ගමන්ම කෘෂි කර්මාන්තය නංවාලීම සිදු කෙරෙනවා. මේ වැඩපිළිවෙළේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරැදි කරගෙන සාර්ථකව කරගෙන යෑමට කටයුතු කරනවා.

හැටේ දශකයේ සිට අපි වස විස කෑවා. වස විසෙන් තොර ආහාර රටාවක් මේ රටේ ජනතාව ඉල්ලුවා. ගොවි බිම් අද ජීවීන් නැති මළ භූමි බවට පත්ව තිබෙනවා. විස සහිත ක්ෂුද්‍ර ජීවීන් සහිත භූමි බවට පත්ව තිබෙනවා. අඩුපාඩු තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බලා පුළුල් ජන පදනමකින් මේ වැඩපිළිවෙළ ස්ථීරසාර ලෙස කරගෙන යෑමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. 

දේශපාලන වාසි නොබලා මේ රටේ අනාගතය වෙනුවෙන් කාබනික කෘෂි කර්මාන්තයට සහාය ලබාදිය යුතුයි. මේක මේ ආණ්ඩුව මඟින් සිදු නොකළහොත් වෙනත් කිසිම ආණ්ඩුවක් මේක කරන්නේ නෑ. ජනතා හිතවාදී, පරිසර හිතවාදී, සොබාදහම සමඟ දේශීය ව්‍යවසායකත්වය සමඟ කටයුතු කරන ආණ්ඩුවක්. ඒ නිසා දේශපාලන වාසි තකා ජනතාව නොමඟ යැවීම ජාතික අපරාධයක් වෙනවා. 

Related posts

Leave a Comment