පාස්කු විමර්ශනවලට අදාළ තවත් අයෙකු අත්අඩංගුවට!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (ජූලි 6) මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඔන්ලයින් හරහා රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැකකරු රඳවා තබා ගෙන වැඩිදුර ප්‍රශ්න කෙරෙන බවය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන සිටින සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ අවසාන කාලයේදී මෙරට විවිධ ප්‍රදේශවල තරුණයින් සම්බන්ධ කරගෙන පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එමෙන් ම, එම පන්ති හරහා අන්තවාදී සහ වහබ්වාදී මතවාද තරුණයින් අතර ප්‍රචාරය කිරීමට සහරාන් උත්සාහ ගෙන ඇති බවත් මෙම පන්ති සංවිධානය කළ පුද්ගලයින් සහ එම පන්ති තුළ ඉගැන්වීම් කළ පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට එවැනි පුද්ගලයින් 13 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවය.

Related posts

Leave a Comment