කාබනික පොහොර නිෂ්පාදනය කෘෂිකර්ම ඇමති නිරීක්ෂණයට…

ගොවි ගැටළු හා මහ කන්නය සඳහා පරිසර හිතකාමී කාබනික පොහොර වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වයඹ පළාතේ ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එම සංචාරයට එක්ව සිටියා.


රාජාංගණය වම් ඉවුර හල්මිල්ලගල ග්‍රාමයේ කාබනික පොහොරවලින් වගා කර ඇති කෙසෙල් වගාවක් සහ කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය ද මෙහිදී අමාත්‍යවරයා නිරීක්ෂණය කළා. අයි.පී. අතුල කුමාර නමැති මෙම තරුණ ව්‍යවසායකයා දැනටමත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 120ක් තම ඉඩමේ සකස්කර තිබෙනවා. ඔහු සතු අක්කර 3ක කෙසෙල් වගාව මේ වනවිට සිදු කරන්නේ කාබනික පොහොර යොදාගෙනයි. ඔහුට අවශ්‍ය යන්ත්‍රෝපකරණ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරි ව්‍යාපෘතිය මඟින් ලබාදීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී එකඟ වුණා. මේ අතර, ගල්ගමුව රජයේ ගොවිපළ අතිරේක ආහාර බෝග බීජ ගොවිපළක් ලෙස ආරම්භ කිරීම ද අමාත්‍යවරයාගේ වයඹ පළාත් සංචාරයේදී සිදු කෙරුණා. වයඹ පළාත් සභාවේ කෘෂි උපදේශකවරුන් ඉදිරිපත් කළ දේශීය පොහොර, දේශීය දිලීරනාශක, දේශීය කාමිනාශක වර්ග රැසක් ද අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වුණා. පාංශු ගුණාත්මකභාවය සඳහා මාළු නිස්සාරණය, ජීව අඟුරු, කෘමි උවදුරු සඳහා කොහොඹ ඇට නිස්සාරණය, වී වගාව ඇතුළු වගාවන් සඳහා ජීව මෘතම් නමැති දේශීය ජෛව පොහොර ආදි ගොවිබිමේ දැනටමත් සාර්ථකව භාවිත කරන දේශීය නිෂ්පාදන රැසක් මෙහිදී ඉදිරිපත් කර තිබුණා.


අනතුරුව මොරගොල්ලාගම, බුල්නෑව ග්‍රාමයේ පැවති ගොවි හමුවකට ද අමාත්‍යවරයා එක්වුණා. එහිදී ගොවීන් සියලුදෙනා කියා සිටියේ රජයේ පරිසර හිතකාමී කාබනික ගොවිතැනට ප්‍රවිෂ්ට වීමට තමන් සූදානම් බවයි. එම ග්‍රාමයේ වසර 18ක් කාබනික පොහොර නිෂ්පාදනය කොට වගාකරන පී. ඒ. ජයසූරිය මහතාගේ වැඩබිම ද අමාත්‍යවරුන් ඇතුළු පිරිස මෙහිදී නිරීක්ෂණය කළා. බුල්නෑව ගොවි සමුළුව තුළින් කාබනික වගාවට ගොවි ජනතාව තුළ ඇති උනන්දුව මනාව දක්නට ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා බුල්නෑව ගොවි සමුළුව සංවිධානය කර තිබුණා.

Related posts

Leave a Comment