දරුවන් වෙනුවෙන් අධිකරණ 18 ක්!

ළමයින් වෙනුවෙන් ළමා අධිකරණ 18ක් පිහිටුවීම සඳහා කටයුතු සූදානම් කර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය පැවසුවාය.

දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.

සුජාතා අලහප්පෙරුම මහත්මිය මෙසේ සදහන් කළේ, ‘ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ වනවිට කොළඹ බත්තරමුල්ලේ සහ යාපනයේ පමණක් ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක් පවතින බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර එම අධිකරණවල නඩු අධික බව හේතුවෙන් නඩු කල්යාමේ ප්‍රවණාතාවක් ද ඇති බවත් ඇය පැවසුවාය.

 මේ හේතුවෙන්  එම ගැටලු වැළැක්වීම සදහා ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීමට රජයට යෝජනා කළ බව ද ඇය සඳහන් කළාය.

ළමයින් සම්බන්ධව පවතින යල් පැනගිය නීති සංශෝධනයට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා ඉකුත් 2020 ඔක්තෝබර් මස 02 වන දින ළමාරක්ෂක අධිකාරියට දැන්වූ බවත්, ඒ අනූව ජනාධිපති නීතීඥයින්, මහාචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් විද්වත් මණ්ඩල 05ක් රැස්කර එම නීති සංශෝධන කටයුතු ඇරඹූ බවත් ඇය කියා සිටියාය.

Related posts

Leave a Comment