මෙරටින් පැන්නූ පුස්කොළ පොත් 2,000ක් යුරෝපා කෞතුකාගාරවල!

ආක්‍රමණවලදී මෙරටින් පැහැරගෙන ගොස් තිබෙන ඉතා වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරු ඇතුළත් පුස්කොළ පොත් 2,000ක් පමණ යළි ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවත් ඒ ගැන මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන, ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේය.

මීට වසර 200කට 300කට පමණ ඉහතදී මෙසේ මෙරටින් පැහැරගෙන ගොස් තිබෙන්නේ වසර 700 සිට වසර 1000ත් අතර පැරණි ඉතා වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරු ඇතුළත් පුස්කොළ පොත් බවත් එම පුස්කොළ පොත්වලින් වැඩි ප්‍රමාණයක් එංගලන්තයේ කෞතුකාගාර කිහිපයක තැන්පත් කර ඇති බවත් තවත් පුස්කොළපොත් ප්‍රමාණයක් යුරෝපයේ විවිධ රටවල කෞතුකාගාරවල තැන්පත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එංගලන්තයේ කෞතුකාගාරවල ඇති මෙම පුස්කොළ පොත්වල එක් පිටුවක පමණක් ඡායාපිටපතක් ලබාගැනීම සඳහා ස්ටර්ලිං පවුම් 25ක මුදලක් එම කෞතුකාගාරවලින් ඉල්ලා ඇති බවත් එම පුස්කොළ පොත්වල ඡායාපිටපත්වලට අමතරව කෙසේ හෝ ලංකාවට උරුම එම පුස්කොළ පොත් යළි මෙරටට ලබා ගැනීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ද ඇමැතිවරයා කීය.

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ ගැන තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් අපේ රටෙන් පැහැරගෙන ගිය අපේ උරුමයට අදාළ මිල කළ නොහැකි ඉතා වටිනා මෙම පාරම්පරික බෙහෙත් වට්ටෝරු ඇතුළත් පුස්කොළ පොත් යළි මෙරටට ලබාගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

Leave a Comment