සෞඛ්‍ය නීති කඩමින් කරන ගුරු උද්ඝෝෂණවලින් මහජන කැලඹිල්ලක් ඇති විය හැකියි!

සෞඛ්‍ය නීති කඩා දමමින් ගුරු-විදුහල්පති සංගම් දිගින් දිගටම උද්ඝෝෂණයවල නිරත වීම නිසා කොයි මොහොතක හෝ මහජන කැලඹිල්ලක් ඇති වී සාමය බිඳ වැටීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳ වහාම පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට ගොස් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ගුරු-විදුහල්පති වැටුප් විසමතා ප්‍රශ්නය විසඳීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදීත් කොරෝනා වසංගතය තඹදොයිතුවකට මායිම් නොකරමින් මෙලෙස උද්ඝෝෂණවල නිරත වෙමින් කටයුතු කිරීමෙන් රට අනතුරකට පත් විය හැකි බවද පැමිණිල්ල මඟින් කියා ඇත.

කොවිඩ් වසංගතය නිසා පාසල් වසා දමා ඔන්ලයින් අධ්‍යාපනයෙන්ද ඉවත් වී ඊනියා වෘත්තීය සමිති සටනක නිරත වන ගුරුවරු හිතුවක්කාරී හා උද්දච්ච ලෙස කටයුතු කරන්නේ වෘත්තීය අයිතිය දිනා ගැනීමට එහා ගිය අරමුණක් වෙනුවෙන් යැයි සුගත් හේවාපතිරණ මහතා සිය පැමිණිල්ලේ සදහන් කළ ඇත.

කොරෝනා වසංගතය පැතිරයන මොහොතක වූවත් රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමට උත්සහ ගනිමින් තිබෙන මේ මොහොතේ සෞඛ්‍ය මාර්ගෝපදේශන පවා නොතකා හරිමින් උද්ඝෝෂණ විරෝධතා සංවිධානය කළහොත් එමඟින් රටේ ආර්ථික කටයුතු ද යළිත් සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ අවදානමක්ද මතුවිය හැකි බව කියමින් එම පැමිණිල්ලේ තවත් කාරණා රැසක් සඳහන් කර ඇත.

ශිරාන් රණසිංහ

Related posts

Leave a Comment