රාගම රෝහලේ තත්වය බලන්න සෞඛ්‍ය ඇමතිනිය නිරීක්ෂණ චාරිකාවක!

කොවිඩ් ආසාදිතයින් ධාරිතාව ඉක්මවායාම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇති රාගම ශික්‍ෂණ රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කළාය.

රෝහලේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් ප්‍රතිකාර කිරිම සදහා වෙන් කළ බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රෝහල් අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවත්, අවශ්‍ය නම් තවත් වාට්ටු ඒ සඳහා වෙන්කරන ලෙස තමන් ඔහුට උපදෙස් දුන් බවත් ඇමතිවරිය සඳහන් කළාය.

සෙසු රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් සොයාබැලීමට ද තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

රාගම රෝහලට ඇතුළත් කරන කොවිඩ් ආසාදිතයින් පළමුවෙන් එක් වාට්ටුවකට ඇතුළත් කර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු කළ යුත්තේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුල ප්‍රතිකාර සේවා සදහා යොමු කරනවා ද යන්න තීරණය කෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍යවරිය සඳහන් කළාය.

සාමාජ මාධ්‍ය ජාලයන්හි පසුගිය දිනවල ප්‍රචාරය වූයේ රෝගීන් පළමුවරට ඇතුළත් කරන වාට්ටුවේ දර්ශන බව තමන් එහි ගිය අවස්ථාවේ දැනගත් බව කී අමාත්‍යවරිය කොවිඩ් රෝගීන් සිටින වාට්ටු සියල්ල එසේ නොමැති බව ද කීවාය.

සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාගම රෝහලේ අධ්‍යක්ෂ එස්.පී.ඒ ලියනගේ රණවීර යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

Leave a Comment