ඔබට කොරෝනාවෛරසය ආසාදනය වුවහොත් කළ යුත්තේ කුමක් ද?

ලොක්ඩවුන් කිරීමෙන් පසුව කොවිඩ් රෝගීන් වාර්තා වීම යම් පමණක අඩුවක් දක්නට ලැබුණ ද, තවමත් අවදානම පහව ගොස් නැත.

තවමත් දෛනිකව ආසාදිතයින් දහස් ගණනක් හඳුනා ගැනේ.

මෙම තත්ත්වය තුළ යම් හෙයකින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වුවහොත් ඔබ සමීපව ඇසුරු කරන්නන්හට එය ආසාදනය වීමට ඉඩ නොතබා ඔබත් කොවිඩ් රෝගයෙන් සුවය ලබන්නේ කෙසේ ද? යන්න පැහැදිලි කර ගත යුතුය.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ පැහැදිලි කිරීමක් කර තිබේ.

ඔහු පවසන ආකාරයට වෛරසය ආසාදනය වී පළමු දින 5 නිවස තුළ රැඳී සිටිමින් නිවසේ අනෙකුත් නිවැසියන්ට මෙම වෛරසය බෝ නොවන අයුරින් කටයුතු කළ යුතුය.

නිවසේ භාවිත වන්නේ එක වැසිකිළියක් නම් එය භාවිතයෙන් පසු හොඳින් පිරිසිදු කොට විෂබිජනාශක යොදා පිරිසිදු කළ යුතුය.

එසේ ම මෙම වෛරසය ආසාදනය වී ඇති රෝගියා වෙන ම පාවහන් යුගලක් භාවිත කිරීම සුදුසු වේ..

නිවාස තුළ මෙම දවස් කිහිපය සිටින විට මුව ආවරණ පැළඳිය යුතු අතර රෝගියා වෙන ම කාමරයක රැඳී සිටිමින් නිවසේ බඩු බාහිරාදිය ස්පර්ශ නොකර සිටීම වඩාත් වැදගත් බව වෛද්‍යවරයා පවසයි.

මේ අයුරින් දින පහක් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසේ ගත කරන කාලය තුළ උණ, කැස්ස, හිසරදය යන රෝග ලක්ෂණ පහව යා හැකි අතර ඒ අනුව සුව අතට හැරෙමින් පවතින බව වටහාගත හැක.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, කොවිඩ් සඳහා වන ඕනෑ ම එන්නතක මාත්‍රා දෙක ම ලබා ගනිමින්, සමාජ දූරස්ථභාවය පවත්වා ගනිමින්, මුව ආවරණ දෙකක් භාවිත කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කිරීමෙන් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවය.

“අපි කාටත් එක ම ඉරණම තමා තියෙන්නෙ, ඒ හින්දා මේකට පන්ති භේදයක් නැහැ. කුල භේදයක් නැහැ, හැමෝට ම යන්න වෙන්නේ එක ම තැනට, ඒ නිසා රෝගය ගැන අවබෝධයෙන් අපි ප්‍රවේශම් වෙලා ඉන්න ඕනේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

Leave a Comment