ස්පුට්නික් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක් ලබන සතියේ මෙරටට!

දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා මදි පාඩුවී ඇති ස්පුට්නික් එන්නත් ප්‍රමාණය සපුරාලීම සඳහා එම එන්නත් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක තොගයක් ලබන සතියේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ(10) පැවැත්වුණු කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදීය.

එන්නත්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් අවුරුදු 60ට වැඩි අය බවත් එයින්ද වැඩි දෙනෙක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මෙහිදී පෙන්වා දුන්හ.

වයස අවුරුදු 60ට වැඩි සහ විවිධ විවිධ රෝගාබාධවලට ලක්ව සිටින පිරිසට එන්නත් ලබාදීමේ ජංගම එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩවම ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන පිරිස දිරිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

මහනුවර ඇතුළු සමහර ප්‍රදේශවලට දෙවෙනි මාත්‍රාව සඳහා ස්පුට්නික් එන්නත් ලැබී නැතැයි ඇතැම් දේශපාලන පක්ෂ පසුගියදා චෝදනා කළේය.

Related posts

Leave a Comment