මෙරට අභ්‍යන්තර කරුණු නිරාකරණයට ජිනීවා සමුළුවට බලයක් නෑ!

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබාදී නැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසයි. 

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විස¾දුම් ඇති බවද අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවැසීය.

‘ජිනීවා චෝදනා එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය’ යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එසේ පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මෙවර සැසිවාරයේදී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම, එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක්කිරීම  සුබවාදී ලකුණක් බවද විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

මානව හිමිකම්වලට මුවා වී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හෙළා දකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පාකිස්තානය, ඉරාකය, වෙනිසියුලාව ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර මානව හිමිකම් සුරැකීම, සංහිඳියාව පවත්වාගෙන යෑම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන කරුණු පිළිබඳ රජයේ වගවීම ඔවුන්ගේ විශේෂ ප්‍රසාදයට ලක්ව තිබෙන බවද විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

“කලාපයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දය කිරීමේදී ශ්‍රී ලංකාව සාමකාමී රටකි. ත්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය කිරීම සේම රටේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැඟීමේදීද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පසුගිය වසර දෙක තුළ සක්‍රියවම ඒ බව ජාත්‍යන්තරය හමුවේ පෙන්නුම් කර ඇත.”

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බවද සඳහන් කරන විදේශ ලේකම්වරයා එම පිළිවෙතට අනුව යමින්  බල අරගලවලට මැදි නොවී ඉදිරියට යෑම ශ්‍රී ලංකාවේ අරමුණ බවත් එහිදී මෙරට භූගෝලීය පිහිටීම පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව රජය කටයුතු කරන බවත් පැවැසීය.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගි වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය ‘කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම්’ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පැවැසීය. 

සිය රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ එකඟතාවන්ට එළැඹෙමින් පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර සැසිය මහඟු අවස්ථාවක් වනු ඇති බවද වීරතුංග මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරැදි මතවාද නිවැරැදි කිරීමට මෙවර රාජ්‍ය නායක සමුළු අවස්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවහල් කර ගනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කරන බව පැවැසීය.

Related posts

Leave a Comment