ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට එල්ල වන තර්ජන ගැන හොයන්න CIDයට භාර දෙයි!

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට කිසියම් පුද්ගලයෙකු තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ, අවශ්‍ය නම් 119 දුරකතන අංකයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බවය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදිව සහ ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන බව විෂය භාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම වරදක් වන බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය වි‍ශේෂ අවධානය යොමු කොට කටයුතු කරනු ඇති බවය.

Related posts

Leave a Comment