කොරෝනා තුන්වෙනි රැල්ලේ අවසානය පෙනෙන මානයට ඇවිත්!

කොරෝනා තුන්වැනි රැල්ලේ අවසානය පෙනෙන මානයට පැමිණ ඇතැයි කොවිඩ්19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

රට විවෘත කිරීම සඳහා හඳුන්වාදීමට බලාපොරොත්තුවන සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

රටෙන් දෛනිකව වාර්තාවවන ආසාදිතයන් සංඛ්‍යාව 1300 සීමාවට ළඟා වී ඇතැයි පැවසූ හම්දානි මහතා කොවිඩ් මරණ සංඛ්‍යාවද සියයට හතළිහ දක්වා අඩුවී ඇතැයිද පැවැසුවේය.

මේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට බලපෑ ප්‍රධාන හේතු සාධකය එන්නත්කරණය බවත් රටේ එන්නත්කරණය ලෝකයේ වෙනත් රටවල් අභිබවා යමින් ඉතා වේගවත් ආකාරයකට සිදුකෙරෙමින් පවතින බවත් තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ‍ය.

කොරෝනා වසංගතය හමුවේ බොහෝ ජනතාව සිය සමාජ වගකීම මනා ලෙස ඉටු කිරීම කොරෝනා පැතිරීම පාලනයට බලපෑ අනෙක් ප්‍රධාන හේතුව බව පැවසු අන්වර් හම්දානි මහතා එසේ සමාජ වගකීම ඉටු කළ ජනතාවට තමා ප්‍රශංසාව පුද කරන බවද පැවසුවේය.

රට විවෘත කළ පසුද ජනතාව ඒ සමාජ වගකීම දිගටම ඉටු කිරීම වැදගත් බවද එසේ නොවුණහොත් තවත් දරුණු කොරෝනා රැලි ඇතිවීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ ශරීරයන්හි ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයිද ඔහු කීවේය.

දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද විශාල ලෙස පහත බැස ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් වයස අවුරුදු15ත් 19 අතර දරුවන්ට එන්නත ලබාදීම ඉන්පසුව ආරම්භ කරන බවත් හම්දානි මහතා පැවැසීය.

Related posts

Leave a Comment