ගුරු – විදුහල්පතීන්ට නිල හැඳුනුම්පතක්!

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමු වරට නිල හැඳුනුම්පතක් දීම ගුරු දිනය යෙදී තිබුණු ඊයේ (6) අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශ්‍යයේදී සිදු කෙරිණි.

ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙතෙක් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කර එය ඉටු කර දීමට අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගෙන තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සුබ පැතුම් පණිවිඩ එවා තිබූ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, අධ්‍යාපන උපදේශක කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අනූප පැස්කුවල් මහත්වරු හා මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ම හාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු, ගුරුවරු හා විදුහල්පතිවරු රැසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

එහි දී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත ගුරුවරයාය යන ගැඹුරු හා කාලීන තේමාව මුල් කර ගෙන, අනාගතයට ශක්තියක් වන ගුරුභවතුන් ඉටු කරන මෙහෙවරට ජාතියේ ප්‍රණාමය පුදන්න අප මෙය අවස්ථාවක් කර ගන්නා බව කීවේය.

කොරෝනා වසංගතය ලොව හරහා හමායද්දී, තවමත් කළමනාකරණය කරන එම අභියෝගය හමුවේ සිටින මොහොතක ජනාධිපතිතුමාගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහි සාර්ථකත්වයට අප පැමිණෙමින් තිබෙනවා. එම නිසා අද පෙරට වඩා සුභ දායක තත්ත්වයක ගුරුවරයාට උපහාර පුදන්න, ගරුත්වය පුදන්න අවස්ථාවක් ලැබී තියෙනවා. අපේ දරුවන්ට ගුණ, නැණ, බලය පමණක් නොව දැනුම එක්කර හොඳ පුරුවැසියෙක් බවට පත්කරන්නේ ගුරුවරයායි. එම නිසා අප ගුරුවරුන්ට වන්දනීය ගරුත්වය පුද කළ යුතුයි. එවන් වටපිටාවක ගුරුවරුන්ගේ ආරක්ෂාව දියුණුව හා ඒ සඳහා වූ අයිතිවාසිකම්වල සුරක්ෂිතාව තහවුරු කරන්න අප කැපවිය යුතුයි. අමාත්‍යවරයා ලෙස මාත්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යාංශත්, දෙපාර්තමේන්තුවල සියලු දෙනාගේත් කැපකිරීම් මත එම වගකීම් ඉටු කිරීමට සියලු ගුරුවරුන්ගේ සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා.

අපේ ගුරු පරම්පරාව දැයේ දරුවන්ට එකතු කරන දෑ පමණක් නොව නිර්මාණය කරන සෑම දෙයක්ම පොදුවේ ප්‍රයෝජනයට ගත හැකිවන ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, සමාජයටත් පියවරෙන් පියවර ලබා දීමට අප සාකච්ජා කරමින් සිටිනවා. ගුරුවරුන්ට සහ දරුවන්ට ප්‍රයෝජනවත් ලෙස පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් මේ වන විට කෙරෙමින් පවතිනවා.

ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම, යුතුකම් සහ වගකීම් අවබෝධ කර ගනිමින් ලක්ෂ 43ක් වන දැයේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතුයි.

Related posts

Leave a Comment