යහපාලන කාලේ ලංගම ලොක්කො ගජරාමෙට කොම්පියුටර් අරන්!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වසරේදී පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් වියදම් කොට ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදි අනාවරණය වී තිබේ. කමිටුවේදී අනාවරණය වෙයි.

2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරිගණක 139ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000 ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750ක මුදලකට ප්‍රසම්පාදනය කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500 ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම් හරහා වියදම් කොට ඇති බවද අනාවරණය විය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ එහි වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ( 06 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

නියමිත ක්‍රමවේදයකින් තොරව මෙසේ මුදල් වියදම් කිරීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදි සිය අප්‍රසාදය පළ කළේය. එසේම දුප්පත් අහිංසක ජනතාවට සේවයක් කිරීමට ඇති මෙවැනි ආයතනයක් මෙලෙස මුදල් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, මධුර විතානගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගී වුහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම කමිටුවට සම්බන්ධ විය. එසේම මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී වූ අතර ඇතැම් නිලධාරීහු මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ද සම්බන්ධ වූහ.

Related posts

Leave a Comment