ගුරුවරු 26% යි – සිසුන් 16% යි!

වසර එකහමාරකට පසු පාසල් විවෘත කළ ඊයේ (21වැනිදා) දිවයින පුරා සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට දහසයක් වූ අතර ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට විසිහයක් වූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසීය.

සිසුන් දෙසියයට අඩු පාසල් මෙලෙස විවෘත කෙරුණු අතර අඩුම සිසුන් ප්‍රතිශතය දක්නට ලැබුණේ බස්නාහිර හා දකුණ යන පළාත්වලිනි. එම ප්‍රතිශතය සියයට 7කි. වැඩිම සිසු ප්‍රතිශතය වන සියයට 33 නැගෙනහිර යන පළාතේය. එම පළාතේ විදුහල්පතිවරු සියයට 67ක් ද ගුරුවරු සියයට 45ක් ද සේවයට වාර්තා කර තිබිණි.

බස්නාහිර පළාතේ ගුරුවරුන්ගේ ප්‍රතිශතය සියයට 17ක් වූ අතර සියයට 34ක ප්‍රතිශතයක් විදුහල්පතිවරුන්ගෙන් පැමිණ තිබිණි. සබරගමුව පළාතේ විදුහල්පතිවරුන්ගෙන් සියයට 55ක් ගුරුවරුන්ගෙන් සියයට 28ක් සිසුන්ගෙන් සියයට 18ක් ද පාසල්වලට පැමිණ ඇත. විදුහල්පතිවරුන්ගෙන් සියයට 33ක්, ගුරුවරුන්ගෙන් සියයට 19ක් සහ සිසුන්ගෙන් සියයට 15ක් වයඹ පළාතෙන් වාර්තා විය.

දකුණු පළාතේ ගුරවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට 14ක් වූ අතර විදුහල්පතිවරුන්ගෙන් සියයට 35ක් ද පැමිණ සිටියහ. මධ්‍යම පළාතේ පැමිණීම සිසුන්ගෙන් සියයට 11ක් ද ගුරුවරුන්ගෙන් සියයට 22ක්ද වාර්තා විය. උතුරු පළාතේ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට 45ක් විය.

සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයන් සම්බන්ධයෙන් සතුටු වන බවත් කොවිඩ් පළමු රැල්ලෙන් පසු පාසල් ආරම්භ කිරීම සඳහා මීටත් වඩා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් ලේකම්වරයා කීවේය.
සිසුන් දෙසීයට අඩු පාසල් පන්දහස් පනස් හයක් විවෘත කිරීමට නියමිත වූ අතර ඒවායේ සිසුන් සංඛ්‍යාව හාරලක්ෂ හැට තුන් දහස් නවසිය අනූ පහකි. ගුරුවරු සංඛ්‍යාව පනස් තුන් දහස් හයසිය පහළොවක් විය. ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් රට පුරා පාසල් ඊයේ 21දා විවෘත වූ බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාසල් විවෘත කීරීමේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහරගම බෞද්ධ විදුහල ඇතුළු විදුහල් කිහිපයක කළ නිරීක්ෂණ චාරිකාවේදීය.

දුවා දරුවන් වෙනුවෙන් පාසල් සියල්ල ක්‍රමානුකූලව ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවත් ලක්ෂ ගණනක් වන දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ කාර්යය මේ ආකාරයෙන් සාර්ථකව ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවත් ඇමැතිවරයා කීවේය.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඊයේ 21දා පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතාමත් සාර්ථක වූ බවත් පාසල් ආරම්භ කිරීම සියයට 98කින්ම අසාර්ථක වූ බවත්ය. වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආණ්ඩුවට දුන් අතුල් පහරක් දී ඇතැයිද ලබන සඳුදා (25 වැනිදා) සිට ගුරුවරුන් සේවයට සුදානම් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

Related posts

Leave a Comment