කල්ලාරුවම එකලු කළ යුද හමුදා වගා වික්‍රමය!

කල්ලාරු ඔය රූබර මවක මෙනි. ඇය කියා පාන ජීවන යථාව ද ගැඹුරු ය. ජාති, ආගම්, කුල මල වශයෙන් ඇතැමුන් තුළ භේද භින්නකම් තිබිය හැකි ය. කල්ලාරු නදී කුමරිය ඒ කිසිවක් මායිම් නොකරන්නීය. කාටත් එක සේ සෙත සදන්නීය. කාගේත් සා පිපාසාව නිවන්නීය. මඩු පල්ලියේ ගීතිකාවේ ද මුරුන්කන් කෝවිලේ මෘදංග, ගැටබෙර නදෙහි ද අමුත්තක් කල්ලාරුවට නැත. මැදිහත් සිතින් ඒ සියල්ල ඇය විඳිනා සැටියකි.

ඉදින් අපි ඒ වටා සැරිසරමු. කල්ලාරුවෙන් ඉහත්තාවටත් පිය නඟමු. අහස් දියෙන් සෑහෙනා කල්ලාරු සිසිලසින් රටක් නැංවූ වීරෝධාර සොල්දාදුවන් සොයා පියමනිමු. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බළකාය දෙසට ය. ඊට ඒකක 5ක් අයත් ය. එහි අධ්‍යක්ෂ මණ්ඩලය (SLACAL) යටතේ රට පුරා විවිධ වගා ව්‍යාපෘති 11ක් ආරම්භ කෙරේ. ඒ මෙරට වනගහනය ඉහළ නැංවෙන ‘තුරු මිතුරු’ ආදි ව්‍යාපෘති රැසකට අමතරව ය.

ඉන් කිහිපයක රූ සිරි විඳින්නටයි මේ සූදානම. ඒ තවත් එක් ගොවිපොළකට වඩා වැඩි වටිනාකම් ගොන්නක් අතරිනි. අසමසම ඒ දිනුම් අදත් එදා සිහි ගන්වයි. ඒ, දිවි දෙවැනි කොට මව්බිම සුරකින්නට මේ සෙබළු කළ කැපකිරීම් සිත් තුළ මවා පාමිනි. ඉඩම් අක්කර දහස් ගණනක් සිසාරා රට පුරා ඒ සශ්‍රීක වගා බිම් පැතිරේ.

දැන් අපේ දෙපා රැඳෙන මේ බිම වවුනියාව දිස්ත්‍රික්කයට අයිති ය. මැදවච්චිය, මන්නාරම් ම‍ඟෙහි 32 වැනි සැතපුම් කණුව අසල ය. ආඬියන්කුලම නම ලබන මේ ගම්පියසේ සශ්‍රීකම ඉසව්ව මේ පෙදෙස ය. ඒ, ඉමක් නිමක් නොපෙනෙන යුද හමුදාවේ ආඬියාපුලියන්කුලම ගොවිපළ ය.

ඉඩම් අක්කර සිය ගණනක් සිසාරා මෙය පැතිරේ. අල්පොන්සු එසේත් නැතිනම් TEJC අඹ රස නොවිඳි කෙනකු මෙරට නැති තරම් ය. මී අඹ පරදනා ඒ රසයත් දෝත දරාගෙන ම වීරෝධාර සෙබළු දැන් අප ඉදිරිපිට ය. ඒ එහි අණදෙන නිලධාරි කපිතාන් සී. මධුසංඛ සමඟිනි.

එක යායට දිවෙන්නේ අඹ තුරු පෙළ ය. ඒ සෙ‍වණේ අතුරු වගා රැසකි. ඒ එක් අතකිනි. තවත් අතකින් සුවිශාල පොල් වගාවකි. පසෙකින් ලේ රතට ඉදුණු මිරිස් වගාව ය. ඵලබර එයින් යුහුසුළුව අස්වනු නෙළනා සෙබළ කැලකි.

මේ පිටරට බීජ පැකැට්ටුවේ හාස්කමක් නොවේ. මෙරට ගල්කිරියාගම මිරිස් ප්‍රභේදයේ ද තවත් MICH 1 වශයෙන් හඳුන්වන මෙරට මිරිස් ප්‍රභේද දෙකකින් තැනූ දෙමුහුන් වර්ගයක විස්කම් ය.

මිරිස් සැර 119 ගිය හැටි

මිරිස් සැර අනාදිමත් කාලයක් තිස්සේ මෙරට කාට කාටත් හුරුය. එහෙත් ඒ සැරට වඩා මේ දෙවර්ගය සැර ය. ඊට ජීවමාන සාක්ෂිකාර ගම්මු බොහොම ය. හාපුරා කියා මේ දෙවර්ගය ඇඹරුම් හලක කොටා සකසන විට දී සිදු වූයේ හරි අපූරු සිද්ධියකි. ඒ සැබෑම වියළි මිරිස් සැර මවමිනි. එහෙත් ගැමියන්ට ‍ඒ සැර අදහාගත නොහැකි විය. අදාළ මිරිස් මෝලට එරෙහිව 119 පොලිස් ඇමතුම් සේවාවට ඇමතුම් ගණනාවක් ලැබිණ. ඒ කිසිදා අත් නොවිඳි මිරිස් සැරක් නිසා ය. පොලිසිය පැමිණිල්ල විභාග කළේ ය. එතැනට රැස්වූ ගම්මු මේ අපූරු මිරිස් වර්ගය දෙස පුදුමයෙන් බැලූහ. කාටත් එවිට කාරණය වැටහිණ.

ඒ ජීවිත කාලය පුරාම මිරිස් වගා කළ ගොවීන්ට ද කිසිදා එතරම් ඉහළ තත්ත්වයේ වියළි මිරිස් සැරක් දැනී නොතිබූ හෙයිනි. එක අතකට මෙහි පුදුම වන්නටත් කාරණාවක් නැත. මෙරට වැඩිපුරම පරිභෝජනය කෙරෙන්නේ ආනයනික වියළි මිරිස් ය. එහි ගුණාත්මක බව පිළිබඳ කසුකුසුවක් ද කලෙක පටන්ම වේ. එසේම ඒවාට කුමන විෂ රසායන කල් තබා ගැනීමට යොදන්නේ ද යන්න ද සැක සහිතය. ඒවා සැරෙන් ද අඩුය. යුද්ධ හමුදාව කාබනිකව වගා කොට නවීන තාක්ෂණය ද භාවිත කරමින් වියළා ගත් මිරිස් ගම්මු මවිත කළේ එබැවිනි.

වසරකටත් අඩු කලෙකදී පෑ හපන්කමක්

ඒ එකකි. යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකාය දස මසකටත් අඩු කාලයක දී පෑ තවත් සුරවිරුකම් රැසකි. ඒ මෙතෙක් මෙරටින් පිටතට ඇදුණු අති විශාල ජාතික ධනයක් මෙරටට ඉතිරිකර දෙමිනි. එහිදී වැඩි ඈතකට යෑමට වුවමනා නැත. යුද්ධ හමුදාවට මෙතෙක් කල් තබා ගත හැකි ආහාර සලාකය සම්පාදනය කෙරුණේ පිටරටිනි. එහෙත් දැන් එසේ නොවේ. මෙරටදීම එය සකස් කෙරේ. ඒ, මෙරට කෘෂි හා පශුසම්පත් ඇසුරෙනි. සැබැවින්ම යුද්ධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන ගොවිපළවල අස්වනු මඟින් හමුදාවේ ආහාරපාන බොහෝ දුරට පිරිමසා ගැනේ. එම සාමාජිකයන්ට ඔවුන්ගේ පවුල්වල පරිභෝජනය සඳහාත් සහන මිලට මේ අස්වනු ලැබේ. ඉදිරියේ දී ඒ කටයුතු පුළුල් වීමත් සමඟ ආනයනයකින් තොරව මෙරටදී ම එම අවශ්‍යතා සපුරාගත හැකි වනු ඇත. ඒ 2020 – 2025 කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළට අනුව ය.

පොල් වගාවේ නවෝදයක් යුද්ධ හමුදා කෘෂිකර්ම බළකාය හරහා දක්නට පුළුවන. මෙරට දෙවැනි පොල් උයන බිහිව ඇත්තේ එසේ ය. එමඟින් මෙරට පොල් නිෂ්පාදනයට හොඳ පන්නරයක් ලැබේ.

බඩඉරිඟු තවත් භෝගයකි. මේ වන විට කාබනික සහ ජෛව පොහොරින් බීජ සපයා ගැනීම සඳහාත් එසේම යුද්ධ හමුදාව මඟින් පවත්වා ගෙන යනු ලබන කුකුළු පාලන ව්‍යාපෘතිවල සත්ත්ව ආහාර පිණිසත් ඒවා වගා කෙරේ. ‘රුවන්’ බඩඉරිඟු ප්‍රභේදය ඉන් ප්‍රධානය.

අභියෝගවලටත් අභියෝග

දෙහි වගාව ඉහළ අස්වනු ලැබීමට පමණක්ම නොවේ. අලි උවදුරුවලින් වගා බේරා ගැනීමත් වැදගත් ය. සිග්සැග් ක්‍රමයට යටි වගාවක් වශයෙන් සිදු කරන දෙහි සහ කටු සහිත පැඟිරි කුලයේ ශාක හා මී මැස්සන්, අලි ඇතුන්ට අප්‍රියය. මෙරට භෝග වගාවලට වන සතුන්ගේ හානි දැඩිය. උපක්‍රමශීලිව යුද්ධ හමුදාව ඒ උවදුරින් වැළකුණු අන්දම රටටම ආදර්ශයක් වනු ඇත.

නොහැක්කක් නොමැති බව පසක් කරයි

එසේම ආනයනික බීජ පිළිබඳ විවිධ දුක් අ‍ඳෝනා ඇසේ. ඒ ඊටම ඈ‍ඳෙන රසායනික පොහොර හා දිලීර නාශක ආදිය හේතුවෙනි. පර්යේෂණාත්මකව එදෙස බැලීමට යුද්ධ හමුදාව කටයුතු කරයි. ඒ අනුව ජෛව පොහොරින් නව පණක් ලැබ ඉහළ අස්වනු දෙන ප්‍රමිතියෙන් උසස් බීජ නිෂ්පාදනයට හමුදාව පෙලැඹ සිටිති. ඊට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහාය ලැබේ. එළවළු, පලතුරු පමණක් නොව සුවඳැල් වැනි ඉහළ පෝෂණ ගුණයකින් යුතු පාරම්පරික දේශීය වී වර්ගවලට අදාළ බීජ නිපදවෙන්නේ ඒ අයුරිනි.

තවම අප ආඬියන්කුලම ගොවිපළේ ය. ඉන් එපිටටත් අක්කර සිය ගණනක් සිසාරා යුද්ධ හමුදා වගාබිම් පැතිරේ. මැණික් ෆාම් කියූ සැණින් කලක් මැවුණු සංකල්ප රූපය හරිත වටපිටාවක් නොවුණි. එහෙත් අක්කර දහස් ගණනක් පුරා පැතිරෙන එහි තවමත් තත්ත්වය ඉඳුරාම වෙනස්ය.

ලහිලහියේ නවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගි කරගනිමින් මානා ආදි වල් වැවී තිබුණු එහි ඉඩකඩම්වලින් කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බලපත්‍ර මඟින් ලබා ගනිමින් ඊට රජයට ගෙවිය යුතු බදු ආදිය ගෙවමින්ම අභිමානවත් යුද්ධ හමුදාව මේ යුග මෙහෙවරෙහි නියැළේ.

ඊට දුරබැහැර සිට ජලය සම්පාදනයට ගෙන තිබෙන පියවර ප්‍රශස්තය. ඒ නව තාක්ෂණය භාවිත කරමිනි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇති තරම් යන්ත්‍ර සූත්‍ර සහ ශ්‍රමය හිමි ය. එතරම් ධාරිතාවක් හිමි වන වෙනත් රාජ්‍ය හෝ පෞද්ගලික කෘෂි ආයතනයක් මෙරට නොවේ. ඉතා කෙටි කලෙකින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට එතුළින් පුළුවන.

කාබනිකව ආහාර පාන නිෂ්පාදනය මෙරට ප්‍රධාන ව්‍යාපෘතියකි. ඒ රටේ උන්නතිය වෙනුවෙනි. එහෙත් ඒ අසුරේ ගොවීහු විවිධ මැසිවිලි නඟති. යුද්ධ හමුදාව වගාවට පිවිසෙන විටත් කලක් තිස්සේ කෙරුණු රසායනික ගොවිතැන ඉහළින් වැජඹිණ. එහෙත් රජයේ ප්‍රතිපත්තියට අනුව උපක්‍රමශීලි ව ඔවුහු එය වෙනස් කළහ. ඒ වගාවට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගනිමිනි. ඉන් එපිටට යමින් ජෛව පොහොර නිෂ්පාදනයටත් යුද්ධ හමුදාව කටයුතු කළහ. එමඟින් යූරියා ආදි රසායනික පොහොරින් ලැබෙන පෝෂණ ගුණය එලෙසම ශාකයට දීමට කටයුතු කළහ. එයින් අතිවිශාල මුදලක් වාර්ෂිකව කෘෂි රසායන සහ පොහොර සඳහා පිටරටට ඇදී යෑම නවතා දැමූහ. ඒ ධාන්‍ය, කුළුබඩු වගාවෙන් රටට උපයා දෙන ආදායමට අමතරව ය. ඒ කුළුබඩු මණ්ඩලය හරහා සහන මිලට ජනතාවට ඒවා සැපයීමට දායක වෙමිනි.

එයින් නොනැවතී ඒ පර්යේෂණාත්මක සොයා ගැනීම් මොවුහු නොමසුරුව ගොවීන්ට දෙති. බීජ සඳහා වැය කිරීමට සිදුවූ අති විශාල වියදම එකකට එකක් අඩු කිරීමට යුද්ධ හමුදාවට පුළුවන් විය. එහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන සමඟ එක්ව යුද්ධ හමුදාව ඒ සුරුවිරුකම් පෑහ.

නිරාවිය ශෝචනීයයි

මේ වන විටත් අප වවුනියාව දිස්ත්‍රික්කයේ ය. ඒ ආඬියන්පුලියන්කුලම සහ මැණික් ෆාම් ගොවිපළවල ය. භෝග වගා බිම්වලින් එපිටට අනුරාධපුර, තඹුත්තේගම, නීරාවිය කෘෂි සහ පශු සම්පත් අංශය දෙසටත් අපගේ අවධානය යොමු කෙරුවෙමු.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහවැලි අධිකාරිය සතු ඉඩම් කෙටි කාලීනව බද්දට ගනිමින් යුද්ධ හමුදාව වගා සහ සත්ත්ව පාලනය සිදු කරයි.

TEJC අඹ, බඩඉරිඟු ආදි වගා එතුළ දැනටමත් සරුවට වැඩී ඇත. ඒ එක් අතකිනි. තවත් දෙසකින් යුද්ධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන සත්ත්ව පාලන ගොවිපළ දක්නට පුළුවන. කුකුළු පාලනය සිදු කරන්නේ බිත්තර ගැනීම සඳහාය. දිනකට බිත්තර 6000ක් පමණ එමඟින් පමණක් සපයා ගැනේ. ඉන් යුද්ධ හමුදාවේ පෝෂණ අවශ්‍යතා සපුරා ගනු ලබයි.

යුද්ධ හමුදාව ඒ විස්කම් කරන්නේ මහවැලි අධිකාරිය සතු නිරාවිය කෘෂි හා පශුසම්පත් ගොවිපළ භූමියෙන් අඩක පමණ ය. එහෙත් එහි ඉතිරිය පිළිබඳ ව ඇත්තේ කනගාටුදායක පුවතකි.

ගව, එළු, කුකුළු ආදි සත්ත්ව පාලනය සහ ඒ ආශ්‍රිත පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් එහි පිහිටුවිය හැකිය. සැබැවින්ම දැනටත් ප්‍රයෝජනයක් නොගෙන එතුළ දිරාපත් වෙමින් පවතින එම සම්පත් රැසකි. දේශන ශාලා ආදිය ද ඊට අයත්ය.

එසේම රජය ප්‍රමුඛතාවක් දක්වන කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ද එහි වේ. එහෙත් යුද්ධ හමුදාව පාලනය කරන නීරාවිය ගොවිපළේ අඩක පමණ කොටසට සාපේක්ෂව මහවැලි අධිකාරිය සතු කොටසෙහි වැඩක් වන බවක් පෙනෙන්නට නැත.

එමෙන්ම කඩිනමින් එහි බිම් කොටස් පෞද්ගලික අංශයට බදු දෙනු පෙනේ. එයින් භූමිය සඳහා පමණක් යම් කුලියක් ලැබෙනු ඇත. යම්තාක් දුරකට ආදායම් ඉපිද වීමක් මහවැලි අධිකාරියට එයින් රජයට පෙන්නුම් කිරීමටත් හැකි වනු ඇත. එහෙත් සශ්‍රීක, කලා ඔයට හා කලංකුට්ටිය දියවරට මායිම් වන මෙයින් යුද්ධ හමුදාවට කෘෂි හා පශු සම්පත් අතින් පෑ හැකි හපන්කම් එමට ය. මහවැලි අධිකාරියේ නිලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමු කළ හොත් එවිට නිරාවිය ගොවිපළෙන් දැනට වඩා රටට වැඩ ගනු හැකි වනු ඇත. ඒ වෙනුවට මහවැලියෙන් නීත්‍යනුකූලව කෙටි කාලීනව පවරාගෙන වගාවට උචිත තත්ත්වයට සැකසූ වගාබිම් හා යුද්ධ හමුදා නේවාසිකාගාර ආදියත් මහවැලි අධිකාරියේ ඇතැමුන් නැවත පවරා ගැනීම සහ ඊට කැසකැවීම වීරෝදාර සෙබළුන් ගොවිබිම් පුරා හලන දහදිය වෙනුවෙන් කෘතගුණ දැක්වීමක් නම් නොවේ.

Related posts

Leave a Comment