ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට අත්‍යවශ්‍යම සැකකරු පකිස්තානයේදී අත්අඩංගුවට!

පකිස්තානයේ සිලාකොට්හිදී ම්ලේච්ඡ අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පන්ජාබ් පොලීසිය තහවුරු කළා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉමිටියාස් හෙවත් බිල්ලි නමැත්තෙකු බවයි පන්ජාබ් පොලීසිය පැවසුවේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව ද පන්ජාබ් පොලීසිය සඳහන් කළා. පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් මිදීම සඳහා සැකකරු විටින් විට තමන් රැඳී සිටින ස්ථාන වෙනස් කරමින් සැගව සිටීම ඊට හේතුවයි.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සැකකරුවන් රැසක්ම පකිස්තාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් සහ පොලිස් හදිසි ඇමතුම් අංකවලට ලද තොරතුරුවලට අනුවයි.

සිසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී ප්‍රියන්ත දියවඩනගේට පහර දී වධහිංසා පැමිණවීමේ අවස්ථා ඇතුළත් දර්ශන රැසක මෙම බිල්ලි නමැති සැකකරු සිටින බව පන්ජාබ් පොලිසිය පවසනවා. ඒ අනුව අදාළ පුද්ගලයා, ප්‍රියන්ත දියවඩනගේ ඝාතන සිද්ධිය සම්බන්යෙන් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙසයි හඳුනාගෙන තිබුණේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමක් සාර්ථක වී සැකකරු රාවල්පින්ඩිහිදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පන්ජාබ් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ පොලීසිය මගහැර පළා යාම සඳහා බස්රථයකට ගොඩවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බිල්ලි නමැති මෙම සැකකරු ප්‍රියන්ත දියවඩනගේට පහර දී වධහිංසා පමුණුවන අයුරු සහ රුධිරය තැවරුණු පොල්ලක් අතැතිව කලහකාරී අයුරින් හැසිරෙන ආකාරය ද ප්‍රියන්ත දියවඩනගේ ඝාතන සිද්ධියේ දර්ශන ඇතුළත් සීසීටීවී දර්ශනවල සටහන්ව තිබෙනවා.

ප්‍රියන්ත දියවඩනගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට සැකකරුවන් 131 දෙනෙකු පකිස්තාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් ප්‍රධාන සැකකරුවන් 13 දෙනෙකු ඊයේ ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Related posts

Leave a Comment