”නීතිපතිට බලපෑම් කළ බව ඔප්පු කළොත් කලිසම ගලවා ගෙදර යනවා”

තමා හෝ ආණ්ඩුව එක් දිනක් හෝ නීතිපතිට බලපෑම් කර තිබේනම් තමා ”කලිසම ගලවා ගෙදර යාමට සූදානම් බව” අධිකරණ ඇමතිවරයා සඳහන් කළේ ය. 

“නීතියේ ආධිපත්‍ය සුරකින්නට ආණ්ඩුව දැඩි කැප වීමෙන් ක්‍රියා කරන බව” ද ඇමැතිවරයා තහවුරු කළේ ය. 

නීතිපති නඩුවක් ඉල්ලා අස්කර තිබෙන්නේ පළමු වතාවට මෙන් යැයි විපක්‍ෂය පෙන්වීමට උත්සාහ ගන්නා බවත් නීතිපති දෙපාර්තමේන්තුව අරලියගහ මන්දිරයට සම්බන්ධ කරගත්තේ යහපාලන ආණ්ඩුව බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. 

මේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිහිටුවූයේ 19 වන සංශෝධනය ක්‍රියාත්මක කාලයේ බවත් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ඊට දමා එෆ්.සී.අයි.ඩී නමින් නව පොලිසියක් පිහිටුවූ අතර එය පොලිස් ආඥා පනත ප්‍රතිපත්තිවලට පටහැනි බව ත් එතැනින් නීතිය කෙලෙසුණු බව ත් ඔහු පැවසීය. 

ඔහු විමසුවේ තම ආණ්ඩුව නීතිපතිට බලපෑම් කළා නම් අසාද් සාලි නඩුව, අලි නඩුව, ශානි අබේසේකර නඩුව ප්‍රතික්ෂේප වූයේ කෙසේ ද යන්නයි. 

ඔහු පැවසුවේ රන්ජන් රාමනායක මහතාට නඩු වැටුණේ යහපාලන ආණ්ඩුව සමයේ මෙන් ම, එහි නඩු විමසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය බව ත් ඊට මේ ආණ්ඩුව කිසිම සම්බන්ධයක් නොවන සේම ඔහුට සමාව දෙනවා ද නැද්ද යන්න ජනාධිපතිවරයා තීරණය කරනු ඇති බවත් ය. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අතින් අල්ලාගෙන ගොස් හිරේ දැමිය නොහැකි බව අධිකරණ ඇමතිවරයා කීය. 

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් තීරණය කරන්නේ දේශපාලනය නොවන අතර ඒ සම්බන්ධ ක්‍රියාත්මක වීමට පොලිසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට පූර්ණ නිදහස දී ඇති බව ද වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

Related posts

Leave a Comment