නිජබිම් මතවාදය උතුරෙන් අතුගා දමන කුරුන්දි වෙහෙර!

මුලතිව් තන්තිරුප්පු රක්ෂිතයේ කරදියනාරු වැව් තාවුල්ල අසලින් වන පෙත දෙසට ගමන් කරමින් සිටිමි. වන පියස යටින් ඇති අඩි පාරේ මීටර් පන්සියයක් පමණ ගිය තැන හමුවන්නේ කුඩා කඳු ගැටයක් සහිත බිමකි. එහි මද දුරක් ඉහළට ගිය විට දුටුවේ ගුරු පාට ගත් ඉපැරණි දාගැබක විසිරී ගිය කබොක් ගල් එකතු කරන සේවකයන් පිරිසකි. ඒ අතරින් කෙනෙක් අනෙකාට යමක් කියයි.

‘‘අඑද මෙදුවා එදංගල් ’’ : ඕක පරිස්සමට දෙන්න

ඔහුගේ කීමට අනුව හරි හතරැස් කබොක් ගලක් අතින් ගත් දමිළ තරුණයෙක් එය දාගැබ අසලට එකතු කරයි.

‘‘ඔයාලද මේ දාගැබේ වැඩ කරන්නෙ.’’ මම දන්න භාෂාවෙන් ඔහුගෙන් ඇසුවෙමි.

‘‘ආමා .’’ ඔව්.. තරුණයා පිලිතුරු දුන්නේ කිසිදු අමුත්තකින් නොවේ.

යළි ගොඩනැගෙන අතීත කරුන්දි විහාර දාගැබේ එලෙස වැඩ කරමින් සිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළ දමිළ තරුණයන් පිරිසකි. ඔවුනට වැටුපක් හිමිවේ. එය ඇත්තකි. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිංහල නිලධාරීන් සමග ගලින් ගල තබා මහා පරිශ‍්‍රමයකින් ඉපැරණි දාගැබේ සංරක්ෂණ කටයුතු වලට ඔවුන්ගේ ශ‍්‍රමය වගුර වන අයුරු මම පෙර නොදුටු දසුනක් සේ බලා සිටියෙමි. ජාති ආගම් කුල භේද ඉවතලන බුදු හිමියන්ගේ දර්ශනය කුරුන්දි විහාර ප‍්‍රතිසංස්කරණ කටයුතු වලදී ප‍්‍රායෝගික කරමින් තිබේ. ඒ ශ්‍රේෂ්ඨ උදාහරණය වර්තමානයේදී බුදු දහමේ හරය පටලවාගෙන ගිනි අවුලනවුන්ගේ චින්තනයට එල්ල කරන ප‍්‍රබල කුළුගෙඩි පහරක් වැන්නකි. ඒ කතාව එපමණකින් ඔබට අවබෝධ කරගන්නට ඉඩ තබා ක‍්‍රි. ව. පළමු සහ දෙවන සියවසේ ඉදිකළ මේ වටිනා බෞද්ධ උරුමයේ අතීතයට දැන් මම ඔබව රැගෙන යමි.

නිජබිම් මතවාදය උතුරෙන් අතුගා දමන කුරුන්දි වෙහෙර

උතුරේ බෞද්ධ උරුමය ලොවට කියාපාන ශ්‍රේෂ්ඨ ඉදිකිරීම් සමූහයකින් සමන්විත මේ බිම අතීත කරුන්දි විහාරයයි. අනුරාධපුර මුල් යුගයේ බෞද්ධාගමික පුනර්ජීවය ලද වෙහෙර විහාරවලට අයත් මෙහි ඉදිකිරීම්වල ආරම්භය නිශ්චිතවම කවරෙකු විසින් සිදු කළේද යන්න තවමත් සොයාගෙන නොතිබුණද ක‍්‍රිස්තු වර්ෂ 100 ත් 103 අතර කාලයේදී රජ කළ ඛල්ලාට නාග රජු විසින් මෙහි ඉදිකිරීම් ආරම්භ කරන්නට ඇතැයි සැළකේ. මහා වංශයේ කුරුන්දි විහාරය ගැන ලියැවී ඇති තොරුතුරු අනුව මුලින්ම සඳහන් වන්නේද ඛල්ලාට නාග රජු ගැනය. පසුව පළවෙනි අග්බෝ රජු සහ පස්වෙනි මිහඳු රජුගේ පාලන සමයද කරුන්දි විහාරයට රාජ අනුග‍්‍රහය ලැබී තිබේ. තවමත් සනාථ නොවූ ජනවහරේ එන තොරතුරකට අනුව පස්වෙනි මිහිඳු රජු විසින් කුරුන්දි විහාරයේ වැඩ වාසය කරන භික්ෂූන්ගේ ප‍්‍රයෝජනය සඳහා ගව් තුනක් විශාල පොල් වත්තක් සඟ සතු කොට පූජා කර එහි සේවය කිරීමට සියයක් සේවකයන් යොදවා තිබේ. මේ සෑම කතාවකින්ම කියැවෙන වැදගත් කාරණය නම් කුරුන්දි විහාරය කාලයෙන් කාලයට පාලකයන්ගේ අනුග‍්‍රහය නොඅඩුව ලද වැදගත් බෞද්ධ විහාරයක් ලෙස ක‍්‍රමිකව ගොඩනැගුණු බවය.

කුරුන්දි විහාරයේ ඓතිහාසික වැදගත්කම සොයා යෑමේදී හමුවන වටිනාම තොරතුර වන්නේ බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කළ බවටද මතයක් පැවතීමය. ඒ පිළිබඳ ලිඛිත තොරතුරක් සුදු ජාතිකයන් මෙරට පාලනය කළ කාලයේ සටහන් කර තිබේ. එය හමුවන්නේ 1905 වසරේදී ප‍්‍රකාශයට පත්කර තිබෙන පුරා විද්‍යා පාලන වර්තාවේය. එම කාලයේ කුරුන්දි විහාරයට පැමිණි සුදු ජාතික පුරා විද්‍යා නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ කුරුන්දි විහාරය ඇති ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළ බවට ඒ අවට ජනතාව අතර කතාවක් තිබුණ බවයි. බෞද්ධයෙකු නොවන අන්‍ය ජාතිකයෙකු එවැන්නක් සටහන් කර තැබීම එම තොරතුරේ වැදගත්කම තවත් වැඩිකරන්නකි.

නිජබිම් මතවාදය උතුරෙන් අතුගා දමන කුරුන්දි වෙහෙර

කුරුන්දි විහාරයේ පිහිටීම අතීතයේද දේශපාලනික අතින් වැදගත් කමක් පැවති බව පෙනේ. අනුරාධපුර රාජධානිය සයුරෙන් එහා ලෝකය සමග සබඳතා පැවැත්වීමේදී ප‍්‍රධාන පිවිසුම වූයේ මාන්තොට වරායයි. මාන්තොට සේම අනුරාධපුර රාජධානියට පැවති තවත් එක් මුහුදුබඩ පිවිසුමක් ලෙස එකල මුලතිව් ප‍්‍රදේශයට වටිනාකමක් හිමිව තිබේ. කාලයකදී පදවි රට වූ මෙම ප‍්‍රදේශය තවත් කාලයකදී හඳුන්වා තිබෙන්නෙ කරුඳු රට යනුවෙන් බව විද්වත්හු පවසති. එකල මේ ප‍්‍රදේශයේ ප‍්‍රතාපවත් බෞද්ධාගමික පුනර්ජීවයක් පැවති බවට සාධක තිබේ. එහෙත් දහතුන්වන සියවස අවසන් කාලයේදී සිදුවූ කාලිංග මාඝ ආක‍්‍රමණය කුරුන්දි විහාරය විනාශව යෑමට හේතුවක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. එය තවදුරටත් අනුමාන කළ හැකි වන්නේ කාලිංග මාඝගේ සේනාව ලැගුම් ගත් බලකොටුවක් කුරුන්දි විහාර භුමියේ පැවති බවට ඉතිහාසයේ සඳහන් වීමයි.

නිජබිම් මතවාදය උතුරෙන් අතුගා දමන කුරුන්දි වෙහෙර

මේ වටිනා උරුමය අන්‍යාගමික ආක‍්‍රමණයන්ගෙන්ද මිනිස් පහසක් නොලැබීමෙන්ද කාලයේ වැලිතලාවෙන්ද වැසී ගොස් තිබියදී එය වර්තමාන ලෝකයට දායාද කිරීමට වෙහෙස වූවෝ පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියෝය. උන්වහන්සේගෙන් අපි ඒ ගැන ඇසුවෙමු.

‘‘මේ ස්ථානය හොයාගෙන පුරා විද්‍යාවේ නිලධාරීන් එක්ක අපි එද්දි මෙතෙන්ට එන්න පාරක්වත් තිබුණේ නෑ. හැබැයි මෙතෙන්ට ආවට පස්සෙ තේරුණා කියවපු පොත්වල තිබුණට වඩා ගොඩාක් ඓතිහාසික තොරතුරු තවදුරටත් මේ ස්ථානයේ තියෙනවා කියල. කුරුඳු මලේ පුරා විද්‍යා ස්ථානය කියන්නෙ බෞද්ධයින්ට අතිශය වැදගත් ස්ථානයක් බව පොතපත කියවද්දි මට තේරුම් ගියේ. අපේ ශාසන ඉතිහාසයේ තියෙනවා මහා අට්ටකතාව, පච්චරි අට්ටකතාව සහ කුරුන්දි අට්ටකතාව කියල ලිඛිත තොරතුරු. ශාසනික ඉතිහාසය තුළ අටුවාවක් ලියවී තබෙන්නේ ශාසනයේ පැවැත්මට අර්බුදයක් පැමිණි විට ධර්මයෙන් ඊට විසඳුම් ලබා දීමට. නොමැතිනම් ප‍්‍රඥා අඩු පුද්ගලයන්ට ධර්මයේ තිබෙන අපහසු තැන් තවදුරටත් විග‍්‍රහ කොට ඉගෙන ගැනීමට පහසු කිරීමට. අටුවාවන් ලියැවෙන්නෙත් සාමාන්‍ය භික්ෂූන් අතින් නෙමෙයි. ව්‍යක්ත විශාරද ධර්මධර විනයධර මහා භික්ෂූන් අතින්. ඉතින් කුරුන්දි පුදබිමේ කරුන්දි අටුවාව ලියවුණානම් ඒ කාලේ මේ ශාසනයේ භාරධාරී මහා සංඝයා වහන්සේලා බහුතරයක් වැඩවාසය කරල තියෙන්නෙ මේ කරුන්දි පුදබිමේ කියල හිතන්න පුළුවන් යැයි ’’ශාන්තබෝධි හිමියෝ පැවසූහ.

ඒහිමියන්ගේ වෙහෙසකර ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස කුරුන්දි විහාර සංකීර්ණයට අරුණැල්ලක් වැටී තිබේ. දැන් ඒ බිමේ තිබෙන වටිනාම සම්පතක් වන කුරුඳු දාගැබ යැයි සැළකෙන ඉපැරණි දාගැබේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භව ඇත. ඒ සඳහා වන සියලූ බරපැන දරන්නේ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසිනි. උතුරේ බොදු උරුමය වළ දමා ඒ මත ව්‍යාජ ඉතිහාසයක් ගොඩනැගීමට උල්පන්දම් දෙන ද්‍රවිඩ දේශපාලකයන්ගේ අවහිර කිරීම් හමුවේ කුරුන්දි විහාරයේ ඉතිහාසය සනාථ කරගැනීමට බෞද්ධාලෝක පදනම කළ මැදිහත්වීම සුළු පටු නොවේ. ඒ පිළිබඳ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා කියන්නෙ මෙවැන්නකි.

‘‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිත්වය දරන කාලයේ ඉඳන් අපි මේ කුරුන්දි විහාරය ගැන අවධානයෙන් හිටියෙ. රවි හරන් ඇතුළු පිරිස මේක හින්දු කෝවිලක් තිබුණ තැනක් කියල මේ බිමේ අයිතිය ගන්න නඩුවක් දැම්මා. එදා ඊට එරෙහිව පෙනී සිටින්න අවශ්‍ය නීතිඥ මහත්වරු ලබා දීලා අපට පුළුවන් වුණා මේ ස්ථානය පුරා විද්‍යා රක්ෂිතයක් කියල ඔප්පු කරන්න. ඊට පස්සෙ මේ බිමේ තිබෙන දාගැබේ කැණීම් කටයුතු වලට නීතිමය අවසරය අපට ලැබුණා. දැන් මේ දාගැබ අතීතයේ තිබුණ විදියට ගොඩනගල මතු පරපුරට දායාද කරන්නයි වෑයම. ඒ සඳහා අවශ්‍ය අනුග‍්‍රහය ලබාදීම තමා බෞද්ධාලෝක පදනමේ සභාපතිවරයා විදියට මම මේ සිදුකරමින් ඉන්නෙ. මම භාග්‍යවන්ත වෙනවා මේ වගේ වටිනා උරුමයක් මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමට අවස්ථාව ලැබීම ගැන.’’

කුරුන්දි දාගැබේ දැන් සිදුවන ප‍්‍රතිසංස්කරණ වලදී වටිනා සාධක රැසක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. එහිදී ඔවුන් සොයා ගත් වැදගත්ම සොයාගැනීම වන්නෙ මේ ඉපැරණි දාගැබේ වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. එය තුන් මහල් පේසාවක් පැවති ස්ථූපයක් බව එම කැණීම් වලදී ඔවුන් අනාවරණය කරගනී. එවකට කුරුඳු දාගැබ ලෙස හැඳින්වෙතැයි සිතන මේ දාගැබ ලංකාවේ අනෙකුත් දාගැබ් වලට වඩා සුවිශේෂි වන්නේ කබොක් නැමති තද පාෂාණ යොදාගෙන සම්පූර්ණයෙන් මෙම දාගැබ ගොඩනගා තිබීමයි. දාගැබේ සිට කිලෝ මීටරයක වපසරිය තුළ පිළිම ගෙවල්, පොහොය ගෙවල් වැනි ඉදිකිරීම් වල නටඹුන් අදද එහි නිහ`ඩ කතාවක් ලොවට කියාපාමින් වැතිර හිඳී. මේ වන විට මෙම දාගැබේ පිහිටි ස්වාභාවය පිළිබඳ ගවේෂණය කර එය අතීතයේ පැවති අයුරින් ගොඩනැගීමට සහය වී සිටින පුරාවිද්‍යාඥ ජේ්‍යෂ්ඨ මාහාචාර්ය මාලිංග අමරසිංහ මහතාගේ විග‍්‍රහයට අනුව කුරුන්දි දාගැබ ශ‍්‍රී ලංකාවේ හමු වූ සුවිශේෂි ලක්ෂණ වලින් යුතු ඉදිකරීමකි.

නිජබිම් මතවාදය උතුරෙන් අතුගා දමන කුරුන්දි වෙහෙර

‘‘මේ ස්ථූපයේ සුවිශේෂී ලක්ෂණ දෙකක් තියනවා. එකක් තමයි දාගැබ මුළුමනින්ම ගොඩනගා තිබෙන්නෙ කබොක් ගලින් වීම. අනෙක මේ වගේ පද්මාකාර හැඩයක් තියෙන දාගැබක් ලංකාවේ කොතනකදිවත් තවම හමු නොවීම. මහාචාර්ය පරණවිතාන යම් යම් ස්ථූප ආකෘති පද්මාකාර හැඩය විය හැකියි කියල කිව්වට ඒ එකක්වත් තහවුරු කරල නෑ. දැදිගම කොටවෙහෙරේ තියෙන්නෙ ධාතු කර`ඩුවක් තියන්න හදපු පාදමක්. මෙම ස්ථූපයේ එක පේසාවළල්ලයි දකින්න ලැබෙන්නෙ. ඊට උඩින් විශාල පද්මයක ආකෘතියක් දකින්න පුළුවන්. තාම මේ ස්ථූපයේ ගර්භය පැවති ආකාරය ගැන නිගමනයකට ඇවිත් නෑ. මෑතක කර කැණිීම් වලදි අපිට මේ ස්ථූපයේ තිබිල යූප ගලක් හමුවුණා. එවැනි යූප ගල් හමුවෙන්නෙ මහායාන බුදු දහමත් එක්ක හඳුන්වලා දීපු ස්ථූප ආකෘතියත් එක්ක. ක‍්‍රි. ව. පළවන සියවසේ ඉඳන් අටවන සියවස දක්වා කාලය තුළ යූප ගල තිබෙන ස්ථූප හමුවෙලා තියනවා. පසුකාලීනව ප‍්‍රතිසංස්කරණ වලදි ඇත් පවුර ආදී අංග මේ ස්ථූපයටත් එකතුවෙලා තිබෙන බව පෙනෙනවා. මේ ස්ථූපය සංරක්ෂණය කරන එකත් අනෙකුත් ගඩොල් බැඳි ස්ථූප සංරක්ෂණය කරනවාට වඩා අමාරු කාර්යයක්.’‘ මහාචාර්යවරයා සඳහන් කරන්නේ එම අභියෝගය මැද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය සිදු කිරීමට දරන පරිශ‍්‍රමය ඉතා ඉහළින් අගය කළ යුතුය යන්නයි.

අතීතයේ උතුරුකරයේ පැවති බොදු උරුමය මහපොළවින් යළි මතුකර ගැනීම බෙදුම්වාදී දේශපාලකයන්ගේ මතවාද වලට එල්ල කරන මරු පහරක් වී තිබේ. ඒ නිසා හැම විටම විවිධ වේෂයෙන් එන බාධා කිරීම් කුරුන්දි දාගැබ යළි ගොඩනැගීමේදීද අඩුවක් නැතිව පැමිණ තිබේ. ඒ සියල්ල හමුවේ දිනෙන් දින උතුරුකරයේ කුරුන්දි විහාර සංකීර්ණයෙන් හමුවන්නේ අතීතයේ උතුරු කරයේද විරාජමානව පැවති බෞද්ධ ශිෂ්ටාචාරයේ මහිමයයි.

නිජබිම් මතවාදය උතුරෙන් අතුගා දමන කුරුන්දි වෙහෙර

www.divaina.lk

Related posts

Leave a Comment