”ජනතාව ‘ලැබ් රැට්ලා’ කරගන්න බෑ… නඩු දැම්මොත් කෝටි 10ක් වන්දි ගන්න පුළුවන්”

ගෑස් නිෂ්පාදකයන් මහජනතාවට කරදරකාරී ස්වරූපයෙන් ක්‍රියාත්මක වී ඇත්නම් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ඔවුන්ට එරෙහිව නඩු පවරා වන්දි ලබාගත හැකි බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසීය.

තනි පුද්ගලයෙකු විසින් වරදක් කළහොත් රුපියල් මිලියනයේ සිට මිලියන දහය දක්වාත් සමාගමක් ලෙස කටයුතු කරන්නේ නම් රුපියල් මිලියන දහයේ සිට මිලියන සියය දක්වාත් දඩ නියම කිරීමටත් නීතිමය හැකියාවක් පවතින බව අදහස් දක්වමින් පැවසීය.

ගෑස් හේතුවෙන් යම්කිසි අයුරින් දේපළ හානි හෝ ජීවිත හානි සිදුව ඇත්නම් එසේ ම ඒ බව සනාථ කළ හැකිනම් පවතින නීති යටතේ නඩු පවරා වන්දි ලබාගැනීමේ ප්‍රතිපාදන ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය. යම් හෙයකින් මේ සම්බන්ධයෙන් යමකුට නඩු පැවරීමට හෝ පවතින නඩු කටයුත්ත පවත්වාගෙන යා නොහැකි නම් හෝ නීති ආධාර කොමිෂන් සභාවේ උපකාර ලබාගත හැකි බව ද හෙතෙම පැවසීය. මේ ආකාරයෙන් මින් පෙර ගෑස් සම්බන්ධ පිපිරීම් දිගින් දිගට ම සිදු නොවූ නිසා මෑත කාලීනව සිදුවූ සිදුවීම්වලදී ආයතන දෙක ම එම අවස්ථාවේ වගකීම් විරහිතව කටයුතු කළ ආකාරයක් හා තමන්ගේ අත්හදා බැලීමක් වෙනුවෙන් ජනතාව උපයොගි කරගත් ආකාරයක් පෙනෙන්නට තිබෙන බව ත් පැවසීය.

පර්යේෂණාගාරයක් තුළ සිදුවිය යුතු අත්හදා බැලීමක් විවිධ උපක්‍රම යොදාගනිමින් මහජනතාව උපයෝගී කරගෙන සිදුකළ බවට ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ ය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ඉදිරිපත් වූ පසු රජයේ වගකීම වන්නේ ඒ ඒ අයට වුණු අලාභ හානි සැලකිල්ලට ගෙන වන්දි ලබා දීම බවද ඔහු පැවසීය.

සිදුවුණු අලාභහානි පිළිබඳ සලකා බලා වන්දි මුදලක් ලබාදිය යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

Related posts

Leave a Comment