යහපාලනයෙන් ගෙවල් හදනවාට වඩා හදන බව කියන්න වියදම් කළා!

යහපාලන ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රචාරණය සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර තිබෙන බවත්, ඒ මුදල්වලින් මෙරට නිවාස දහස් ගණනක් සෑදීමට හැකියාව තිබුණු නමුත් එම ආණ්ඩුව නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට පැවසීමට වියදම් කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ, පෙරේදා (15) ‘කොළොම්තොට සරසවි උයන’ මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අටසියයකට නේවාසික පහසුකම් සැලසීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් දීමට නිවාස 528කින් සමන්විතව ඉදි වූ මෙම ‘කොළොම්තොට සරසවි උයන’ මහල් නිවාස සංකීර්ණය අගමැතිවරයා අතින් විවෘත විය.

කොළඹ 05, පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේදී නිවාස අහිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහා ද මෙම නිවාස සංකීර්ණයෙන්ම නිවාස දීමට පියවර ගෙන තිබේ. නිදන කාමර දෙකක් ඇතුළුව සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නිවාස 528 ඉදි කිරීමට බදු රහිතව වැය කළ මුදල රුපියල් මිලියන 1,900කට ආසන්න වේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණය ඇතිව ‘මාගා ඉංජිනේරු පෞද්ගලික සමාගම’ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කළේය.

නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කරමින් අගමැතිවරයා එහි සමරු ඵලකය නිරාවරණය කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා වෙන් කර ඇති ගොඩනැඟිල්ල නිල වශයෙන් භාර දීම සංකේතවත් කරමින් එම ගොඩනැඟිල්ලේ අනුරුවක් අගමැතිවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට හා කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මියට පිරිනමනු ලැබිණි. එහිදී නිවාසලාභීන් පස් දෙනකුට අගමැතිවරයාගේ සුරතින් නිවාසවල යතුරු භාර දීමද සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ, නිවෙසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇති බවයි. මෙරට ජනතාවට ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් තිබෙන බවත්, තමන්ට ද ඒ සම්බන්ධව ඉතා හොඳ අත්දැකීම් ඇති බවත් කී අගමැතිවරයා, තමන් ෂැඩෝ මිනිස්ටර් වශයෙන් විපක්ෂයේ සිටිමින් නිවාස ව්‍යාපෘති පිළිබඳව බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ කතා කර ඇති බවද එහිදී කියා සිටියේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“2014 වර්ෂයේදී තමයි අප මේ නිවාස සංකීර්ණය හදන්න මුලපිරුවේ. මේ නිවාස සංකීර්ණය සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක්. කුලුනු තුනක් විදියට ඉදි වෙලා තිබෙන මෙම නිවාස සංකීර්ණයෙන් එක් කුලුනක් සම්පූර්ණයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට වෙන් වෙනවා. ඒ එහි නේවාසිකාගාරයක් විදියට යොදා ගන්න. මේ නිවාස ව්‍යාපෘතියට ඉඩම් දුන් ජනතාවටත්, කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කරන ජනතාවටත් මේ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලැබෙනවා. අනවසරයෙන් පදිංචි වෙලා හිටියත් ඒ අයටත් නිවෙසක අයිතිය දෙන්න අපට වුවමනා වුණා. ඒ නිසා ඒ අයටත් මෙතැනින් නොමිලේම නිවෙසක් ලැබෙනවා. ඒ පවුල්වල දරුවන්ටත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න අද හැකි වෙලා තිබෙනවා. ඔවුන්ට නිවෙසකට උරුමකමක් වගේම තමන්ගේම කියලා ලිපිනයකුත් ලැබිලා තියෙනවා.

“අපගේ මේ උත්සාහය නිවාස නැති පුරවැසියන්ට උපන් බිමෙහි සැබෑ අයිතිය දීමටයි. අප ක්‍රියාත්මක කරන නිවාස වැඩසටහන්වලදී සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජාති භේදයක් නෑ. ඒ වගේම පක්ෂ භේදයකුත් නෑ. මතක තියාගන්න නිවෙසක් නැති කෙනෙක් උපන් බිමෙහි බෝඩිංකාරයෙක් වගේ. ඒ යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කරන්න ඕනෑ. අප මේ නිවාස වැඩසටහන කරන්නේ ප‍්‍රතිපත්තියක් ඇතිවයි. ඉදිරි දැක්මක් ඇතිවයි. මෙය දේශපාලන අරමුණකින් කරන දෙයක් නෙවෙයි. මට මතකයි ඒ දවස්වල ජයවර්ධනපුර අවට වගුරු බිම් ගොඩ කරමින් ගෙවල් හදනකොට මං පාර්ලිමේන්තුවේදී කිව්වා, මේ විදියට ගෙවල් හැදුවොත් කවදා හරි පාර්ලිමේන්තුවත් යට වෙයි කියලා. අප ගෙවල් හදන්නේ අපේ රට ගැන හිතලා. අප නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ජනතා හිතවාදී ව්‍යාපෘති විදියටයි.

“ඒ වගේම අප දෙන නිවාසවල පවුලක් වශයෙන් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් පැවතිය යුතුයි. ඒ ගෙදර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තිබිය යුතුයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකටම සුව පහසු නිවෙසක් දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා. අප මේ නිවාස වැඩසටහන රට පුරාම ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

“නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14,083ක් ඉදිකිරීම් අවසන් කර ජනතාවට දීමට කටයුතු කළා. ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් අප සකස් කරලයි තිබෙන්නේ. එදා අප කොරියාව කියා කිව්වේ අප්‍රසන්න මුඩුක්කු පරිසරවලට. ඒත් අද කොරියාව කියන්නේ ඉහළ සංවර්ධනයක් හිමි කර ගත් ලස්සන රටක්. චීනයටත් ඒ වගේම අපහාස කරපු කාලයක් තිබුණා. අද චීනය ලොව බලවත්ම රාජ්‍යයක් බවට පත් වෙලා. පැල්පත් හා මුඩුක්කුවලින් තොර රටක් වෙනුවෙන් නාගරික සංවර්ධනයේ විප්ලවීය වෙනසකට අප මුල පිරුවේ 2010දී බව කිව යුතුයි. 2014 වන විට පැල්පත් හා මුඩුක්කුවල ජීවත් වුණු විශාල පිරිසක් මහල් නිවාසවල පදිංචි කරවන්න අපට හැකි වුණා. කොළඹ නගරයේ ගරා වැටුණු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ගොඩනැඟිලි අප නැවත ඒ අයුරින්ම ප්‍රතිසංස්කරණය කර නගරයට අලුත් පෙනුමක් දුන්නා. ඒ නිසාම ‘වේගයෙන්ම දියුණු වන නගරය’ ලෙස 2015දී කොළඹ නගරය අන්තර්ජාතික සම්මානයට පවා ලක් වුණා. නමුත් ඒ සියල්ලම යහපාලන ආණ්ඩුව විනාශ කළා. දැන් අපට සිදුව ඇත්තේ, නතර කළ තැනින් නැවත මුල සිට පටන් ගැනීමයි. නමුත් අප මේ කෙටි කාලය තුළ විශාල වැඩ කොටසක් කර තිබෙනවා. සෑම පවුලකටම ජීවත් වීමට සුදුසු නිවෙසක් දීම වගේම නගර සංවර්ධනයත් සැලසුම් සහිතව අප සිදු කරනවා. අප මේ නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ දේශපාලනය ගැන බලා නෙවෙයි. රටේ අනාගතය ගැන හිතලයි.”

මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමැතිවරුන් වන නාලක ගොඩහේවා, සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, යදාමිණි ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්ම මහත්මීහු සහ නිවාස ලාභීහු පිරිසක් එක්ව සිටියහ.

Related posts

Leave a Comment