කුණු අල-ලූනු මිනිස්සුන්ට කවන හෝටල් ජාවාරමක් එළියට!

මෙරට  නිෂ්පාදනය වන ඉඩධපබ ඡ්චබඵ හෙවත් කෙටි ආහාර  (කඩ කෑම)  සඳහා  විදේශ රටවලින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල්  සහ ලොකු ලූනු යොදා ගැනීම නිසා සෞඛ්‍ය අතින් ජනතාව දැඩි අනතුරකට මුහුණ පා ඇති බව කියති.

වරාය අධිකාරියෙන් මුදාහරින මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ලූනු  නිසා මේ තත්ත්වය ඇති වී ඇති බවත්  ඒ පිළිබඳව කඩිනමින් අවධානය යොමුකළ යුතු බවත් දඹුල්ල  නගරාධිපති ජාලිය ඕපාත ලිපියක් මඟින් විෂයභාර ඇමැතිවරයාගෙන් සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්  ඉල්ලා තිබේ.

 රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මඟින් වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන වෙත ලිඛිතව මෙම ලිපිය යොමු කොට තිබේ.

කූට ව්‍යාපාරිකයන් පිරිසක් දිගින් දිගටම මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ලූනූ විදේශ රටවලින් ඉතා සූක්ෂ්ම ලෙස තැරැව්කරුවන් හරහා මෙරටට ගෙනවිත් දිවයින පුරා පිහිටා ඇති අවන්හල් සහ භෝජනාගාරවලට අඩු  මුදලකට කෙටි ආහාර නිෂ්පාදනයට බෙදාහැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇත. 

මේවායේ තොග අලෙවිය දඹුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් රට පුරා බෙදාහැරීම සිදුවන බවද නගර සභාවක් ලෙස තමන්ට තනිව එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද හෙතෙම පෙන්වා දී තිබේ.

වරාය තුළින් නිදහස් කරනු ලබන ආහාර ද්‍රව්‍ය නිසි අධීක්ෂණයට නතු කිරීම, පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් සැකසීම, නීති විරෝධී ලෙස පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හරින්නන්ට විරුද්ධව කටයුතු කිරීමේදී පවත්නා නීති ප්‍රතිපාදන දැඩි කිරීම ආදී කටයුතු සිදු විය යුතු බවද එම ලිපියෙහි සඳහන් කර ඇත.

 රේගු දෙපාර්තමේන්තුව පාරිභෝගික සේවා අධිකාරිය සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන ඒකාබද්ධව  විධිමත් යාන්ත්‍රණයක් සකසා රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය යොමු කරන්නැයි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සිය ලිපිය මඟින්  ඇමැතිවරයාගෙන් ඉල්ලා  තිබේ.

වරාය  තුළින් නිදහස් කරනු ලබන   නුසුදුසු ආහාර විනාශ කිරීම් සඳහා වන විධිමත් වැඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  නොකිරීම නිසා විශාල වශයෙන් දඹුල්ල නගරයට දිනපතා  කුණු වූ ලොකු ලූනු සහ අර්තාපල් ලැබෙන බවත් ඒවාට කිසිදු ලියකියවිල්ලක් හෝ නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් බවත් මේවා රේගුවෙන් නිදහස් වූයේ කෙසේද යන්න හෝ සොයා ගැනීමට නොහැකි තත්ත්වයක පැවැතීම නිසා නගර සභාවද අපහසුතාවකට පත්ව ඇති බවත් නගරාධිපති ජාලිය ඕපාත වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා වෙත යැවූ ලිපියේ සඳහන්ව තිබේ.

මෙම ලිපියේ පිටපත් පාරිභෝගික අධිකාරිය හා වරාය අධිකාරියටද යොමු කොට තිබේ.

Related posts

Leave a Comment