පොලිස් කූඩුව තුළ මැරී වැටුණු හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ මරණයට හේතුව!

හුංගම පොලිසිය තුළ මිය ගිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (දෙසැ. 19) හම්බන්තොට රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය විසින් සිදු කරනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම මන්ත්‍රීවරයාගේ මරණය රුධිර වාහිණී අවහිරතාවකින් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට එමගින් තහවුරු වූ බව ය.

දෙසැම්බර් 18 වන දා හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම මන්ත්‍රීවරයා හුංගම පොලිසියේ සිර මැදිරියක් තුළදී මිය ගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

එලෙස මිය ගොස් තිබුණේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමතිලක අමරවීර නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

පෝය දිනයේ මත්පැන් අලෙවි කළේ යැයි චෝදනාවක් මත සැකකරු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙනවිත් තිබිණි.

ඊට මද වෙලාවකට පසු සැකකරු, සිර මැදිරිය තුළ සිහිසුන්ව ඇද වැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම අවස්ථාවේදී සිර මැදිරිය තුළ තව ත් සැකකරුවෙකු ද සිට ඇත. 

අනතුරුව සැකකරු රන්න රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඒ වන විට ත් ඔහු මිය ගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

Leave a Comment