චීන පොහොර නැවේ අහිතකර බැක්ටීරියා නැති බවට යලිත් ඔප්පු වෙයි!

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිත වරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය  ඉවත් කරනවා ද? දීර්ඝ කරනවා ද? යන නියෝගය ජනවාරි මස 06 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. පත්කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

දැනට පනවා තිබෙන වාරණ නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවද විනිසුරු වරයා නියෝග කර තිබේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද (23) යළි කැදවීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළේය.

පෙත්සම්කාර පොහොර සමාගම්  මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් වග උත්තරකාර චින්දාඕ සීවින් බයෝටෙක් ගෘෘප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබුණි.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මඟින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස්වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ එම සමාගම්, මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළේය.

ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම සමාගම් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් සිංගප්පූරුවේ ආයතනයක් විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවක සඳහන්ව ඇත්තේ අදාළ නෞකාවේ මිනිස් සිරුරට අහිතකර කිසිදු ද්‍රව්‍යයක් අඩංගු නොවන බවය.

මේ අතර ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ද යළි කැඳවීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය ඉවත් කරනවාද ? නැද්ද ? යන නියෝගය ලබන 06 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

එදින  දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බව ද විනිසුරුවරයා නියෝග කළේය.

මෙහිදී වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ කිසියම් සමථයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවය.

Related posts

Leave a Comment