අධිවේගයේ රියැදුරන්ට පොඩි නින්දක් දාන්න ජොනීගෙන් තැනක්!

අධිවේගී මාර්ගවල ගමන් කරද්දී රියැදුරන්ට නින්ද යෑම නිසා සිදුවන අනතුරු අවම කිරීම සඳහා වාහන නතර කර මඳක් නිදාගැනීමට හැකි ස්ථාන පිහිටුවීමට මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු තීරණය කර ඇත.

එම වැඩසටහන ලබන ජනවාරි මස දෙවැනි සතියේදී ආරම්භ කෙරෙන බව ඇමැතිවරයා පැවැසීය.

මෙසේ ගිමන් හරින ස්ථාන පිහිටුවීමේදී රක්ෂණ සමාගම්ද එක්කර ගනිමින් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දිනෙන් දින මහාමාර්ගවල සහ අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කළ ඇමැතිවරයා දිනකට ශ්‍රී  ලංකාවේ මාරක රිය අනතුරු අටක් පමණ සිදුවන බවද පැවැසීය.

පොලිසිය දැනුවත් කර ඔවුන් සමඟ අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු වැළැක්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය.

නෙලුම්දෙණිය _ තුන්තොට _ ගලපිටමඩ (ඕ 540) මාර්ගයේ දැදිගම නව පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම දැදිගම පොලිස් ස්ථානය අසලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරිණි.

ඉදිකිරීමට යෝජිත දැදිගම නව පාලම දිගින් මීටර් 50කින් සහ පළලින් මීටර් 11.5කින් යුක්ත වේ. ද්විත්ව මංතීරු සහිතව ඉදිකරන මෙම පාලම සඳහා වැය කරන මුදල රු. මිලියන 145කි. මාර්ග සංවර්ධන අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ ජයවංශ කන්ස්ට්‍රක්ෂන් සමාගම දින 456ක් ඇතුළත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතය.

Related posts

Leave a Comment