කෝටි 52ක නැවක් උස්සන්න ගේමක් ගහන ලොක්කෝ කවුද?

වසර දෙකකට අධික කාලයක් මෝදර වරායේ නැංගුරම්ලා තිබෙන තම සමාගමට අයත් කෝටි පනස් දෙකකට අධික වටිනාකමින් යුත් නෞකාවක් මෙරට ඉහළ පෙළේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගේ හා ප්‍රකට ව්‍යාපාරිකයකුගේ සහාය ඇතිව පැහැර ගෙන යෑමේ උත්සාහයක් පවතින බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කර තමන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලා මෙරට ධීවර කටයුතුවල නිරතව සිටින විදේශීය සමාගමක් වන ‘සීමැක්ස්’ සමාගම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තම සමාගමේ කටයුතු සඳහා 2019 වසරේ මෙරටට ගෙන්වන ලද එම නෞකාව 2020 වසරේදී ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කර මෝදර වරායේ නැංගුරම්ලා තිබෙන බවද එම සමාගම සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී ඇත.

විදේශීය පුද්ගලයකුට මෙම නැව අත්පත් කරදීම සඳහා ඉහත කී නාවික හමුදා නිලධාරියා හා ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයා නීතිඥවරුන් පිරිසක්ද සම්බන්ධ කරගෙන මේ ආකාරයට කටයුතු කරන බවද වසර එක හමාරක කාලයක් තිස්සේ සිදුවන මෙම ක්‍රියාව නිසා පීඩාවට පත්ව සිටින තමන්ට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද එම සමාගම සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී  තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ බවට හැඟවෙන කූට ලේඛනයක් කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කර මෙම නැව අත්පත් කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවද පැමිණිලිකරු විසින් අපරාධ කොට්ඨාසයට සිය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අගතියට පත් එම සමාගම වෙනුවෙන් එහි නීති අධ්‍යක්ෂ අභිමානි රන්දෙණිය මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දර, සංජීව දහනායක, ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

Related posts

Leave a Comment