වැඩිහිටියන් 50%ක් බූස්ටර් මාත්‍රාව අරගෙන නැහැ!

මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනතාව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා දක්වන උනන්දුව අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දෛනිකව රට තුළ 600කට ආසන්න කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීම සහ ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා ඉතා වේගයෙන් පැතිර යන මොහොතක මෙලෙස බූස්ටර් එන්නත මග හැරීමෙන් යළි කොරෝනා ආසාදිතයින් වර්ධනය වීමේ ඉහළ ඉඩකඩක් ඇති බව ය.

විශේෂඥ වෛද්‍ය ගිනිගේ මහතා ප්‍රකාශ කළේ, රට තුළ සිටින වැඩිහිටියන් සංඛ්‍යාව මිලියන 2.7ක් වන නමුත් ඉන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇත්තේ මිලියන 1.3ක් පමණක් බව ය.

ඒ අනුව, සමස්ත වැඩිහිටි ප්‍රජාවෙන් දල වශයෙන් 50%ක පමණ ප්‍රතිශතයක් බූස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව ඔහු පැවසී ය.

ඔහු සඳහන් කළේ, කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් මිය ගොස් ඇති පිරිසෙන් 80%කට වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි ප්‍රජාව වන බව ය.

එබැවින් තුන් වන එන්නත් මාත්‍රාව ලබාගෙන නොමැති 50%ක පමණ වන නිධන්ගත රෝග සහිත මෙම අවදානම් කණ්ඩායම වහා ම තුන්වන එන්නත් මාත්‍රාව ලබාගත යුතුව ඇතැයි ඔහු අවධාරණය කළේ ය.

තව ද තරුණ ප්‍රජාව විසින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම නොසලකා හරින තත්ත්වයකට පත්ව ඇති බව ද ඔහු පැවසී ය.

ඔවුන් මෙම මාත්‍රාව මගහැර සිටින්නේ, අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට පමණක් වෛරසයෙන් වැඩි අවදානමක් ඇතැයි සිතා යැයි වෛද්‍යවරයා පැවසී ය. 

නමුත් මෙතෙක් මෙරට තුළ කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගොස් ඇති 14,000ට වඩා වැඩි පිරිසෙන් 175 දෙනෙකු වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් බව ඔහු සඳහන් කළේ ය.

එබැවින් වයස අවුරුදු 60ට අඩු තරුණ ප්‍රජාවට වුව ද වෛරසයේ සංකුලතා මතු වීමේ අවදානම පවතින බව ඔහු වැඩිදුරට ත් අවධාරණය කළේ ය.

Related posts

Leave a Comment