“වත්මන් අභියෝග ජයගන්න නායකත්වය දෙනවා” – ජනපති ගෝඨාභයගේ සම්පුර්ණ රාජාසන කතාව මෙන්න!

ගරු කථානායකතුමනි,
ගරු අගමැතිතුමනි,
ගරු විපක්ෂනායකතුමනි,
ගරු අමාත්‍යවරුනි, ගරු රාජ්‍ය අමාත්‍යවරුනි, ගරු මන්ත්‍රීවරුනි,

උදා වූ 2022 නව වසර, ඔබ සියලු දෙනාටමත්, සියලුම රටවැසියන්ටත් සුබ නව වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ, මෙම ගෞරවනීය පාර්ලිමේන්තුවට පත් වී සිටින ඔබ, විවිධ දේශපාලන මතවාද හරහා නියෝජනය කරනු ලබන්නේ මේ රටේ මහජනතාවගේ හඬයි.

ඒ නිසා මෙම පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ඔබ සියලු දෙනා රටට ජාතියට වගකියන සුවිශේෂී කණ්ඩායමක්.

ඔබ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ජනතා වරමින් ජනාධිපති ධුරයට පත් වූ මා ද, මේ රටේ සියලුම ජනතාවට වගකිව යුතු වනවා. මැතිවරණයේ දී මට ඡන්දය ලබා දුන් ජනතාව මෙන්ම නොදුන් ජනතාව සම්බන්ධයෙනුත් ඒ වගකීමේ වෙනසක් නැහැ.

ඒ නිසා, පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ වගකීම් නිසි ලෙස ඉටු කරමින් අද මේ රට මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීම සඳහා සහාය වන ලෙසට රටේ ජනාධිපතිවරයා ලෙස, මා අද ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

පසුගිය වසර දෙක අපට අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වුනා. මුළු ලෝකයටම එකවර බලපෑ කොවිඩ් -19 ගෝලීය වසංගතයට අපටත් මුහුණ දෙන්නට සිදු වුනා. මෙම වසංගතය හේතුවෙන් ලෝකයේ දියුණු හා දියුණු වෙමින් පවතින සෑම රටකටම වාගේ දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්නට සිදු වුනා. කුඩා ආර්ථිකයක් ඇති ලංකාවටත් එහි පීඩාව තදින්ම දැනුණා. වාර ගණනාවක් රට වසා දැමීමට සිදු වීම නිසා රටේ ආර්ථික ක්‍රියාවලියට බොහෝ බාධා සිදු වුනා. රටට විදේශ විනිමය ගෙන ආ සංචාරක කර්මාන්තය, විදේශ ශ්‍රමිකයන්, ඇඟලුම් කර්මාන්තය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ලම මේ වසංගත තත්ත්වය නිසා අඩාල වුනා. ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා විවිධ සීමා පනවන්නට සිදු වීම බොහෝ ව්‍යාපාරවලට, ස්වයං රැකියා කරන්නන් හට හා දෛනික ආදායම් උපයන්නන් හට බලපෑවා. සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම නිසා සමාජය තුළත් විශාල අසහනකාරී තත්ත්වයක් ඇති වුනා.

කොවිඩ් -19 ගෝලීය වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගන්නට රජය විශාල වියදමක් දැරුවා. විටින් විට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායම අහිමි වන ජනතාවට සහන ලබා දීමට අප කටයුතු කළා. ගෝලීය වසංගතය නිසා ආදායම් අහිමි වූ හෝ ප්‍රමාණාත්මකව අඩු වූ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීම් කල් දමන්නට අප කටයුතු කළා. අඩු කරන ලද බදු කිසිවක් අප යළි ඉහළ දැමුවේ නැහැ. කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් හෝ දීමනා කප්පාදු කළේ නැහැ.

මොන තරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් ජනතාවගේ සෞඛ්‍යය ප්‍රමුඛතාව ලෙස සලකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පිරිවැය දරන්නට රජය කටයුතු කළා. රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පහසුකම් පිහිට වූ අතර රෝහල් පද්ධතියට අලුතින් ඇඳන් 35,000ක් පමණ එකතු කරන්නට අප කටයුතු කළා. නිවෙස්වල නිරෝධායනයට යොමු කළ සෑම පවුලකටම රුපියල් 10,000ක සහන මල්ලක් ලබා දුන්නා.

කොවිඩ් -19 ගෝලීය වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අප කල් වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව විශාල මුදලක් දරා හෝ අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වාගෙන, වයස අවුරුදු 16 ට වැඩි ජනතාව එන්නත්කරණය කිරීමට අප කටයුතු කළා. මේ වන විට ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් අප ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ප්‍රශස්ත මට්ටමක සිටිනවා.

ඉලක්කගත ජනගහනයෙන් 85%කට වැඩි ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී, රෝග තත්ත්වය පාලනය කොට, සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කරන්නට අපට හැකි වී තිබෙනවා. මේ අවස්ථාව වන විට සියලුම ජනතාව ඉලක්ක කර ගනිමින් උත්ප්‍රේරක මාත්‍රාව ලබා දීම ද සාර්ථකව සිදු වෙමින් පවතිනවා.

මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයින් අතර විවිධ දේශපාලන මතිමතාන්තර තිබෙනවා, ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අප සියලු දෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ රටේ යහපතයි. ගෝලීය ව්‍යසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේ දී, රට ගොඩ නගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයන් ලෙස අප සියලු දෙනාටම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම සඳහා අප සමඟ එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.

කෙටිකාලීන ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන අතරම අපේ මූලික වගකීම වන්නේ, අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද, බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝකාලීන සංවර්ධන වැඩ පිළිවෙළ නොනැවතී ක්‍රියාත්මක කිරීමයි. රටේ තිරසාර අනාගතය ගොඩනැගෙන්නේ ඒ මතයි.

ඒ නිසා අප කිසිවිටකත් අපේ ප්‍රමුඛතා අමතක නොකළ යුතුයි.

අප ජනතාවට පොරොන්දු වුනා වසර පහක් තුළ යම් නිශ්චිත වැඩ කොටසක් ඉටු කරන්නට. ඉන් මුල් වසර දෙක තුළ ගෝලීය කොරෝනා වසංගතය නිසා අපට විශාල බාධාවන්ට මුහුණ දෙන්නට සිදු වුවත්, අපේ මූලික වගකීම් ඉටු කිරීම අප කිසිවිටක අමතක කළේ හෝ පැහැර හැරියේ නැහැ.

වර්ෂ 2019 දී, මා ජනාධිපති ධුරයට පත්වන විට රටේ ජනතාවට තිබුණ මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබෙනවා. මේ වනවිට අපේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ.

පාතාල උවදුර එදා බරපතල ලෙස ව්‍යාප්ත වී තිබුණා. බන්ධනාගාර බස් රථවලට වෙඩි තබා එහි ආරක්ෂකයින් සහ සිරකරුවන් මරා දැමූ යුගයක් අප දුටුවා. මහ පාරේ ගමන් කළ ජනතාව පාතාලකරුවන්ගේ සටන්වලට මැදි වී වෙඩි කා මිය ගිය යුගයක් අප පසු කළා. පසුගිය වසර දෙක තුළ මේ තත්ත්වය වෙනස් කරන්නට රජයට හැකි වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරත් එදා ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. රටේ තරුණ ප්‍රජාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙමින් සිටියා. පිටරටවලට පවා මත්ද්‍රව්‍ය සපයන කල්ලි ලංකාව තුළ බිහි වී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබුණා. මෙය කඩිනමින් පාලනය කිරීම සඳහා අප බලයට පත් වූ පසු පියවර ගත්තා. අපේ ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය නිසා අද මේ තත්ත්වය බොහෝ දුරට පාලනය වී තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩ පිළිවෙළ අප දිගටම ක්‍රියාත්මක කරනවා. අසල්වැසි රටවල බුද්ධි අංශත් මේ සඳහා අවශ්‍ය තොරතුරු අපට ලබා දෙනවා.

මහජන ආරක්ෂාව සැපයීමේ දී පොලීසියට විශාල වගකීමක් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් සහතික කිරීමට නම් පොලීසිය නිරන්තරයෙන්ම මහජන ආරක්ෂාව ගැන විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා පසුගිය කාලයේ දී පොලීසිය තුළත් අප ප්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කළා.

ඕනෑම ප්‍රදේශයක ජීවත් වන ජනතාවට පොලීසියේ සේවාවන් පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි, රට පුරා පොලිස් ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක් අලුතින් පිහිටුවන්නට අප කටයුතු කළා. නිරන්තර නිරීක්ෂණ කටයුතු සඳහා සෑම පොලිස් ස්ථානයකටම වාගේ අලුතින් වාහන පහසුකම් ලබා දුන්නා. යටිතල පහසුකම් දියුණු කිරීමට අමතරව පොලිස් නිලධාරීන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනයටත්, පුහුණු කටයුතුවලටත් විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.

අකර්මණ්‍යව තිබූ පරිසර පොලීසිය අප යළි ක්‍රියාත්මක කළා. ජනතාව හා පොලීසිය අතර සම්බන්ධතාව සවිමත් කිරීම සඳහා මහජන ආරක්ෂක කටයුතු සඳහා ප්‍රජා සහභාගිත්වය ලබාගැනීම සඳහාත් අලුතින් ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවන්නටත් අප කටයුතු කළා.

අප ජාත්‍යන්තර නීතිවලට, සම්මුතීන්ට ගරු කරන රටක්. පසුගිය කාලයේ අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරගන්නට අපට අවශ්‍යයි. මා වගකීමෙන් කියනවා, මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේ දී එවැනි ක්‍රියාවක් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ සෑම ජන කොටසක්ම වාගේ ත්‍රස්තවාදය හේතුවෙන් පීඩාවට පත් වුනා. 2009 වසරේ දී, ත්‍රස්තවාදය පරාජය කොට යළි රටට සාමය ගෙන ඒමෙන්, මේ තත්ත්වය අවසන් කරන්නට අපට පුළුවන් වුනා. කෙසේ වෙතත්, දැන් අපට අවශ්‍ය වෙන්නේ ඉතිහාසයේ අඳුරු මතකයන් ඉවත ලා සෑම ජන කොටසකටම, සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් විය හැකි, සුරක්ෂිත රටක් ගොඩනැගීමටයි. ඒ සඳහා ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව අප සියලු දෙනාම එක්විය යුතුයි.

යුද්ධයෙන් විනාශ වී තිබූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අප විශාල ආයෝජනයක් කර තිබෙනවා.

යුධ සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම් 90%කට වඩා නිදහස් කිරීම ආරම්භ කළේ මා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදීයි. මේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කොට සාමකාමී තත්ත්වයක් පවත්වා ගෙන යන්නට අපට හැකියාව ලැබී තිබෙන නිසා ඉදිරි කාලයේ දී තවදුරටත් ඉතිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට අපට හැකියාව ලැබෙනවා.

යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව එක් පාර්ශ්වයකටම පමණක් විශේෂ වූවක් නොවෙයි. ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටු කිරීමට අප කටයුතු කරනවා.

අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අ‍යිතිවාසිකම් එක සේ ආරක්ෂා කිරීමටයි. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසි ගැන්වීම දැන්වත් නතර කරන ලෙස, මෙය තවදුරටත් කරන දේශපාලනඥයින්ගෙන් මම ඉල්ලා සිටිනවා.

දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිටි එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් පිරිසකට සමාව දී ඔවුන් නිදහස් කරන්නට මම පසු ගිය කාලයේ දී ක්‍රියා කළා. ඒ වගේම 1978 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අවශ්‍ය කාලානුරූපී සංශෝධනයන් ගෙන එන්නටත් අප දැන් සූදානම්.

රටේ ස්වෛරීත්වයට හා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙන ගමන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඉදිරිපත් කරනු ලබන නිරීක්ෂණවලට ධනාත්මකව ප්‍රතිචාර දක්වන්නට අප හැමවිටම සූදානම්.

අප නිදහස් ස්වෛරී රාජ්‍යයක්. බලවත් රටවල් අතර පවතින ගැටුම්වලට මැදිහත්වීමට අපට අවශ්‍යතාවක් නෑ. අප අපේ අසල්වැසියන්ට ගරු කරන අතර අපට අවශ්‍ය වන්නේ සෑම රාජ්‍යයක් සමඟම මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

යුද්ධයෙන් දීර්ඝ කාලයක් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවට සියල්ලටම වඩා අවශ්‍ය වී තිබුණේ ආර්ථික සුරක්ෂිතභාවයයි. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා, ස්වයං රැකියා කරන්නන් හට හා ව්‍යාපාර කරන්නන් හට වෙළඳපොළ අවස්ථා මෙන්ම මේ ජනතාවට පානීය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම්, නිවාස පහසුකම් වගේම රෝහල්, මහාමාර්ග වැනි අනෙකුත් යටිතල පහසුකම් අවශ්‍යව තිබුණා. සංහිඳියාව සඳහා රජයේ මූලික වගකීම ලෙස අප සලකන්නේ කිසිදු වෙනස්කමකින් තොරව මෙම ජනතාව සඳහා ඒ පහසුකම් ලබා දීමයි.

ඒ නිසා මෙම පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා, විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසෙක ලා ඔබේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය හා විනිවිදභාවය සාක්ෂාත් කිරීම අත්‍යවශ්‍ය බව මා තරයේ විශ්වාස කරනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම ඉතා වැදගත්. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු අධිකරණයේත්, නීතිපති දෙපාර්තමේන්තුවේත් පත්වීම් කිසි විටෙක දේශපාලනීකරණය කළේ නැහැ. අධිකරණ සේවාවේ සිටින නිලධාරීන්ගේ කුසලතාවය සහ ජ්‍යෙෂ්ඨත්වය මත සියලු පත් කිරීම් සිදු කරන්නට කටයුතු කළ අතර එමගින් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මාගේ රජයෙහි කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වා තිබෙනවා.

සියල්ලන්ටම සාධාරණය ඉටුවන, ජනතාවට බරක් නොවන, කාර්යක්ෂම අධිකරණ ක්‍රමවේදයක් රටකට අවශ්‍යයි. නමුත් වර්තමානයේ අධිකරණ ක්ෂේත්‍රයේ අඩුපාඩු රැසක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම මාස දෙකකින් විසඳිය යුතු යැයි ප්‍රකාශ කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පවා සමහර විට වසර දහයක් තුළ දී වත් අවසන් වන්නේ නැහැ. බාල වයස්කාර දරුවන්ට එරෙහිව වැරදි කරන ලද පුද්ගලයන්ට දඬුවම් නියම කිරීමට වසර ගණනාවක් ගත වෙනවා. ඉඩම් නඩු විසඳන්නට බොහෝ විට පරම්පරාවකට වැඩි කාලයක් ගත වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය පළුදු වී තිබීම පුදුමයට කරුණක් නොවෙයි.

නීතියේ ප්‍රමාදය හේතුවෙන් පීඩා විඳින මහජනතාවට විසඳුම් සොයා දීම වගේම ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ අවශ්‍යතාව රජයන් ගණනාවක් විසින් හඳුනා ගෙන තිබුනත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්නට පෙර පැවති රජයන් විසින් දරන ලද උත්සාහයන් සාර්ථක වී නැහැ.

නමුත් මාගේ රජය බලයට පත්වීමෙන් අනතුරුව, නීතිය තුළ පවතින ප්‍රමාදයන් අවසන් කර වඩා විශ්වාසදායි හා කාර්යක්ෂම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම, අධිකරණවල යටිතල පහසුකම් වැඩි කිරීම, යල් පැන ගිය නීති යාවත්කාලීන කිරීම, මධ්‍යගත ඩිජිටල්කරණය හා අනුබද්ධ ආයතනවල ධාරිතාවය වැඩිදියුණු කිරීම යන පස් වැදෑරුම් සැලැස්ම අනුව සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කොට තිබෙනවා.

වසර ගණනාවක් පුරා සැලසුම් කොට තිබුණ ද, ආරම්භ කිරීමට නොහැකිව තිබූ “අධිකරණ පියස” ව්‍යාපෘතිය හා අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතීන් මේ වන විට ආරම්භ වී තිබෙනවා. 2022 වසර තුළ සමස්ත අධිකරණ පද්ධතියම ආවරණය වන පරිදි මෙම ඩිජිටල්කරණ වැඩ පිළිවෙළ ව්‍යාප්ත කිරීමට අප කටයුතු කරනවා.

වසර 42කට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි ක‍රන්නට අප කටයුතු කළා. පහළ අධිකරණවලත් විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරමින්, යටිතල පහසුකම් සංවර්ධනය කරමින් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අප කටයුතු කර තිබෙනවා.

නීතිය තුළ සිදුවන ප්‍රමාදයන්ට විසඳුම් ලෙස අලුතින් සුළු හිමිකම් අධිකරණ හා ආයෝජන අධිකරණ ස්ථාපිත කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභී මහජනතාවට මුදල් වියදම් කර අධිකරණයට යාම වෙනුවට සුළු ආරවුල් විසඳීම සඳහා වූ විකල්ප ක්‍රමවේදය ශක්තිමත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉඩම් හා මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට නීති සම්පාදනය කර ඇති අතර, 2022 වසරේ එකී විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට කටයුතු කරනු ලබනවා. ඒ අතරම කොළඹට සීමා වී තිබූ ණය සහනදායක මණ්ඩල, ක්‍රමයෙන් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කරමින් ගාල්ල, ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රදේශවල ද ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙයට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්ය මණ්ඩලය වැඩි කරමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය කටයුතු කොට තිබෙනවා.

අපරාධ නීතිය, සිවිල් නීතිය හා වාණිජ නීතිය යන ක්ෂේත්‍ර තුළ සිදු කරන පුළුල් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ යටතේ මේ වන විටත් නීති 98ක් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා.

ඉදිරි වසර 3 තුළ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් බවට ශ්‍රි ලංකාව පත් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම අප සකස් කරනවා.

1994 වර්ෂයේ සිට පත් වූ රජයන්, විවිධ අවස්ථාවල දී, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහා විවිධ උත්සාහයන් දැරුවත්, ඒ කිසිවක් සාර්ථක වුනේ නැහැ. ඒ නිසා, මේ විෂයය පිළිබඳව ගැඹුරින් හදාරා, පුළුල් ලෙස ජනතා අදහස් විමසමින් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මා විසින් ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවක් පත් කරනු ලැබුවා.

මෙම කමිටුවේ යෝජනා පුළුල් සාකච්ඡාවක් සඳහා කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.

වේගවත් සහ තිරසාර සංවර්ධනයක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අප හොඳින්ම වටහා ගෙන තිබෙනවා. ඒ නිසා ගෝලීය වසංගත තත්ත්වය යටතේත් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලැබුවා. මාර්ග දස ලක්ෂයේ වැඩසටහන, නගර සංවර්ධන ව්‍යාපෘති‍, ග්‍රාමීය නිවාස හා නාගරික මහල් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, පාලම් පන්දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, වැව් 14,000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති, දිවයිනේ සියලුම නිවාසවලට විදුලිය හා පානීය ජලය ලබා දීමේ වැඩසටහන්, අධිවේගී අන්තර්ජාල පහසුකම් රට පුරා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති, ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘති, තාක්ෂණික ගම්මාන හා කර්මාන්ත පුර ඉදිකිරීමේ ව්‍යාපෘති සියල්ල සැලසුම් කළ ආකාරයටම සිදු වෙමින් පවතිනවා. වසරින් වසර මේ ව්‍යාපෘති අවසන් වන විට අප ජනතාවට දුන් පොරොන්දුවල ප්‍රතිඵල බලා ගන්න පුළුවන්.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ ආකාරයටම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම අප පසුගිය සතියේ ආරම්භ කළා. බටහිර පර්යන්තයේ ඉදිකිරීම් තව නොබෝ දිනකින් ආරම්භ වෙනවා. 2024 හා 2025 වසරවල මේ ව්‍යාපෘති අවසන් වූ විට කොළඹ වරායේ ධාරිතාව දෙගුණ වී ලෝකයේ කාර්ය බහුලතම වරායවල් 15 අතරට අපට එක් වන්නට පුළුවන්.

දැන් රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. සංචාරකයන් ආපසු පැමිණෙමින් සිටිනවා. අපනයන ක්ෂේත්‍රවල පැහැදිලි වර්ධනයක් තිබෙනවා. නමුත් තවදුරටත් අප හමුවේ අභියෝග රාශියක් ඉතුරුව තිබෙනවා. ඒවා ජය ගැනීම සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් ලබා දීම අත්‍යවශ්‍යයි.

මෙවර අයවැයෙන් ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කොට තිබෙන්නේ එවන් කෙටි කාලීන විසඳුමක් ලෙසයි. මේ හරහා රට පුරා විසිරී සිටින ස්වයං රැකියා කරන්නන් විශාල පිරිසකට අත්වැලක් සැපයීමට රජය අපේක්ෂා කරනු ලබනවා.

වර්තමානයේ ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා අප හොඳින්ම වටහා ගෙන තිබෙනවා. ඒ නිසා 2022 වසර ආරම්භයේ දීම ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 229ක සහන පැකේජයක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබෙනවා. විශාල ආර්ථික අභියෝග මැද්දේ වුනත් මේ සහන ලබා දෙන්නේ රජය ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී නිසායි.

අපේ රජය පසුගිය වසර දෙක තුළම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නා.

අප වී වලට රුපියල් 50ක සහතික මිලක් නියම කළා. රජයෙන් රුපියල් 50 ක් ගෙවන විට ඒ අනුව පුද්ගලික අංශයෙන් ඊටත් වඩා ඉහළ මිලක් ගොවියන්ට ගෙව්වා. සමහර විට රුපියල් 60 ට 70 ටත් කිලෝව විකුණා ගන්න පුළුවන් වුනේ රජය ගත් ඒ තීන්දුව නිසායි. අද ගොවි ජනතාවගෙන් කොටසකට එය අමතක වී තිබීම කණගාටුවට කරුණක්.

මා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු මුං ඇට, කව්පි, කහ, ඉඟුරු වැනි භෝග වර්ග 16ක් පිටරටින් ආනයනය කිරීම නතර කළා. අද ගොවි ජනතාව ඒවායේ ප්‍රතිඵල භුක්ති විදිනවා. තම කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගන්නවා. ඒ වගේම තේ, පොල්, රබර් වලටත් පසුගිය කාලයේ හොඳ මිලක් ලැබුණා. එයට හේතුව අප ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුයි.

අප අද කහ වලින් ස්වයංපෝෂිත වෙලා. ප්‍රති-අපනයනය නතර කරපු නිසා ගම්මිරිස්, කුරුඳු, පුවක් වැනි භෝග නිෂ්පාදකයන්ට හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේම බුලත් වලට අද හොඳ මිලක් ලැබෙනවා.

එදා මේ රටට එතනෝල් ආනයනය කිරීම ගැන විශාල විරෝධයක් තිබුණා. අප බලයට ආ පසු එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. සීනි කම්හල් අද ඒ නිසා ලාභ ලබනවා. ඒ වගේම උක් ගොවියන්ට හොඳ ආදායමක් ලැබෙනවා.

කිරි ගොවියන් සඳහාත් අද හොඳ වෙළඳපොළක් නිර්මාණය වී තිබෙනවා. දේශීය කිරි නිෂ්පාදන ආයතනවල ලාභ වැඩි වී තිබෙනවා.

වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා අප ගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී අපට යම් ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වුනා. අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරව සන්නිවේදනය නොවීම නිසාත්, වැඩ පිළිවෙළ හඳුන්වා දීමේ දී ඇති වූ යම් යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසාත් මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුනා. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ වූ පුළුල් සංකල්පය සමහර විට වගකිවයුත්තන් විසින් පවා කාබනික පොහොර වලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයන් ජනගත වීමට හේතුවක් වුනා. ඒ අනුව සමහර තීන්දු මහජන දුෂ්කරතාවන්ට හේතු වූ නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුනා.

ඒ කෙසේ වෙතත්, හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ. ඒ නිසා සිදු වූ අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයකට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා. අපේ අවසාන ඉලක්කය වන්නේ කෘෂිකර්මාන්තයේ ඉහළ ඵලදායීතාව ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම හා ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමයි. ඒ හරහා කෘෂිකර්මාන්තයේ නියැලෙන හා ඒ අනුබද්ධිත සේවා සපයන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි. මෙමගින්, ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

2022 වසර අපට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගන්නට සිදුවන වසරක්. මේ අතර දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාලීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක අවශ්‍යතාව තදින්ම මතු වෙනවා. රටේ වගා කළ හැකි සෑම ගොඩ මඩ ඉඩමක්ම ප්‍රයෝජනයට යොදා ගනිමින් අප සියලු දෙනාම එක් වී වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වාරි පහසුකම් සංවර්ධනය හා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු රාශියක් දැනටමත් ආරම්භ කොට තිබීම අපට ශක්තියක් වෙනවා. පසුගිය කාලයේ බිත්ති පින්තාරු කරමින්, පුරන් කුඹුරු වගා කරමින් පෙරට ආ රටට ආදරය කරන තරුණ පරපුරේ සහායත් මේ සඳහා ලැබෙනු ඇතැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා.

අප විසින් ආරම්භ කළ “වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ ජනතාවට පහසුකම් සැපයෙන මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වන විට ඉදි වෙමින් තිබෙනවා.

-මෙගා වොට් 120ක පුනර්ජනනීය විදුලිබල උත්පාදනයක් ජාතික විදුලිබල පද්ධතියට සපයමින් නිමවන උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය හා ඊට සමගාමීව අලිකොට ආර, හඳපානගල හා කුඩා ඔය යන ගබඩා ජලාශ හා පෝෂිත වැව් 300ක් සංවර්ධනය කිරීම.

-මොනරාගල දිස්ත්‍රික්කයේ වියළි ප්‍රදේශවලට වාරි හා පානීය ජලය සපයන කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය.

-මන්නාරම් දිස්ත්‍රික්කයට වාරි හා පානීය ජලය සපයන පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය.

-වයඹ පළාතට වාරි හා පානීය ජලය සපයන වයඹ මහ ඇළ ව්‍යාපෘතිය.

– උතුරු මැද පළාතට වාරි හා පානීය ජලය සපයන උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය.

– ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට පානීය ජලය සපයන බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය.

– ඌව පළාතට වාරි හා පානීය ජලය සපයන තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය.

– නැගෙනහිර පළාතේ මඩකලපු හා මහඔය ප්‍රදේශවලට වාරි හා පානීය ජලය සපයන මුන්දෙනි ආරු ව්‍යාපෘතිය

– යාපනය අර්ධද්වීපයේ වාරි හා පානීය ජල ගැට‍ළුවට තිරසාර විසඳුමක් ලෙස “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය යටතේ සිදුවන නව මිරිදිය කලපු සංවර්ධනය.

– හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල හිඟයට විසඳුම් සපයන අතරම, ගාලු හා මාතර දිස්ත්‍රික්කවල ගංවතුර පාලනය සඳහා උදව් වන නිල්වලා ගඟ සංවර්ධන ව්‍යාපෘතිය.

– මිනිපේ මහ ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය හා මහවැලි ගංගා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය

– දිවයින පුරා කුඩා වැව් අමුණු 5000ක හා මධ්‍ය පරිමාණ ජලාශ 52ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ අතර වෙනවා.

ගොවි ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගත්, කෘෂිකර්මාන්තයට ඉහළ අගයක් දෙන රජයක් වශයෙන් දැනට ආරම්භ කොට ඇති මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති 20ක් ම මගේ ධුර කාලය තුළ නිම කිරීමට අපේක්ෂා කරනවා.

වර්තමානයේ ආර්ථික කළමනාකරණයේ දී අප මුහුණ දෙන බරපතලම අභියෝගය මේ වනවිට උද්ගතව ඇති විදේශ විනිමය ගැටලුවයි. කාලාන්තරයක් තිස්සේ රජයන් ගණනාවක් විසින් තිරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වූ ගැටලුවක උච්චතම අවස්ථාවට අද අප මුහුණ දී තිබෙනවා.

2019 දී මා රට භාර ගන්නා අවස්ථාවේ රටේ විදේශ විනිමය සංචිත තිබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් පමණයි. ඉනුත් කොටසක් කෙටි කාලීන ණය වශයෙන් ලබා ගත් මුදල්.

ඒ වන විට ඉදිරි වසර දෙක තුළ වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6කට වැඩි විදේශ ණය වාරිකයන් ගෙවන්නට තිබුණා. මේ දක්වා පැවති සියලු රජයන් විසින් වරින් වර ලබා ගෙන තිබූ ණය තමා එසේ අපට ගෙවන්නට සිදු වී තිබුණේ.

මේ තත්ත්වය යටතේ, අපේ වියදම් පාලනය කර ගැනීමට අසමත් වුවහොත්, නුදුරු අනාගතයේ දී ම විදේශ විනිමය ප්‍රශ්නයක් වන බව අප කලින් ම අවබෝධ කර ගනු ලැබුවා. ඒ නිසා තමයි වාහන ආනයනය තාවකාලිකව නතර කිරීම, අත්‍යවශ්‍ය නොවන විවිධ ආනයනික භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම වැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නට අපට සිදු වුනේ. මේ හරහා සමස්ත ආනයන වියදමේ යම් පාලනයක් ඇති කර ගන්නට පසුගිය වසර දෙක තුළ අපට පුළුවන් වුනා.

පසුගිය වසර ගණනාවක් පුරා රටේ සාමාන්‍ය වාර්ෂික වෙළඳ පරතරය ඩොලර් බිලියන 8ක පමණ ඍණ අගයක් ගත්තා. මේ අඩුව පියවනු ලැබුවේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ හා විදේශ ආයෝජන හරහා හිමි වූ විදේශ විනිමය යොදා ගනිමිනුයි.

ඉන් අප වැඩිම බලාපොරොත්තුවක් තබා තිබුණේ සංචාරක ව්‍යාපාරය ගැනයි. සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම වසර කිහිපයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරගන්නට අප සැලසුම් කොට තිබුණා.

නමුත් 2019 දෙසැම්බර් මාසයෙන් ආරම්භ වූ කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා මුළු ලෝකය පුරාම සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. මේ අනුව සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ගලා ආ වසරකට ඩොලර් බිලියන 4.5ක් පමණ වූ ආදායම 2020 හා 2021 වසරවල දී අපට අහිමි වුනා.

කොවිඩ් ගෝලීය වසංගතය නිසා විදේශ ශ්‍රමිකයින් ලක්ෂ 2ක් පමණ තම රැකියා අතහැර ආපසු ලංකාවට පැමිණීම හේතුවෙන් ඔවුන් විසින් මාසිකව මෙරටට එවන ලද විශාල මුදලක් ද අපට අහිමි වුනා.

දිගින් දිගටම රට වසා තිබීම හේතුවෙන්, අලුතින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නට අපට හැකියාව ලැබුනේ නැහැ.

අපේ සංචිත ප්‍රමාණය ඉතා පහළ මට්ටමකට වැටී භාණ්ඩ ආනයනයේ දැඩි දුෂ්කරතාවන් ඇති වුනේ අපේ පාලනයෙන් තොරව සිදු වූ මේ නොවැළැක්විය හැකි ක්‍රියාදාමය නිසායි.

අපේ සංචිත ඉහළ නංවා නොගෙන අපේ ආනයන අවශ්‍යතාවන් සපුරාලන්නට හැකියාවක් නැහැ.

දීර්ඝ කාලීනව මේ ගැටලුවෙන් මිදෙන්නට නම් අප නවෝත්පාදන, අපනයන විවිධාංගීකරණය හා අගය එකතු කිරීම් වැනි ක්‍රමවේද හරහා අපේ අපනයන කර්මාන්තයන්හි විශාල දියුණුවක් ඇති කළ යුතුමයි. ඒ වගේම විදේශ මුදල් ආකර්ෂණය කරගන්නා සංචාරක ව්‍යාපාරය, විදේශයන් සඳහා පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම, පරිගණක හා තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි විශාල දියුණුවක් ඇති කළ යුතුයි. මේ සියල්ල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කර තිබුණා. ඒවා ක්‍රියාත්මක කිරීම දැන් වේගවත් කළ යුතුයි.

කුඩා රටක් වන අපේ රටට විදේශ විනිමය උපයා ගත හැකි ස්වාභාවික සම්පත් ඉතා සීමිතයි. තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි සම්පත් අපට නැහැ. වර්තමානයේ ලෝකයේ ස්වාභාවික සම්පත් නොමැතිව දියුණු වූ රටවල් සියල්ලම විසඳුම ලෙස තෝරාගත්තේ විදේශ ආයෝජනයි. අපනයන කර්මාන්ත ඉහළ නංවාලන්නට, නව රැකියා අවස්ථා බිහිකරන්නට, දේශීය ව්‍යාපාරවලට අත්වැලක් වන්නට ඔවුන් විදේශ ආයෝජන ‍යොදා ගත්තා.

වැරදි අර්ථකථන හරහා විදේශ ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන යමෙක් කටයුතු කරනවා නම් ඒ අය රටට කරන්නේ යහපතක් නොවෙයි.

අපේ රටේ සංවර්ධනය සඳහා ආයෝජනවල අවශ්‍යතාව මේ අවස්ථාවේ අපට තදින්ම තිබෙනවා. ඒ නිසා කල්පනාකාරීව තෝරාගත් ක්ෂේත්‍රවලට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉදිරි කාලයේදි අප වැඩි පරිශ්‍රමයක් දැරිය යුතුයි. එහි දී, වැදගත් වන්නේ ඒවා දේශීය ආයෝජන ද විදේශීය ආයෝජන ද යන්න නොව ඒවා රටට හිතකර ආයෝජනයන් ද යන්න පමණයි.

රැකියා වියුක්තියට විසඳුම තිබෙන්නේ රැකියා උත්පාදනය තුළයි. මේ වන විට රටේ රැකියා අවශ්‍යතාවන්ගෙන් බහුතරයක් සපුරනු ලබන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර විසිනුයි. මේ නිසා විවිධ ව්‍යාපාරවල යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමටත් ඔවුන් ශක්තිමත් කිරීමටත් අප හැම විටම ප්‍රමුඛත්වයක් දිය යුතුයි. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවන් නිවැරදිව තේරුම් ගෙන ඔවුන් දිරි ගැන්වීම සඳහා උපරිම සහාය ලබා දීමට අප කටයුතු කරනවා.

වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් 20%ක් පමණ වෙන් වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මාසයකට ඩොලර් මිලියන 1000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදු වෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් 70%ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා 21% පමණ වැය වෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ 4% ක් පමණයි.

ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන විට, විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කරන්නට අප සැලසුම් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත මුහුණ දෙනු ලබන ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ අධික බලශක්ති පිරිවැයයි. අපේ රටට තෙල් හෝ ගල් අඟුරු යන ඉන්ධන සම්පත් නැහැ. ඒ සියල්ල ආනයනය කළ යුතුයි. නමුත් අපට ගංගා ඇළ දොල තිබෙනවා, රට වටේම මුහුද තිබෙනවා, ඕනෑ තරම් සුළඟ තිබෙනවා, වසර පුරාම හිරු එළිය තිබෙනවා. මේ නිසා තමයි අපේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට ප්‍රමුඛතාව ලබා දෙනු ලැබූයේ. වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා උත්පාදනය කිරීමේ ඉලක්කයට අප එකඟ වී තිබෙනවා.

මේ වන විට අප අනාගත විදුලිබල අවශ්‍යතාවන් සපුරාලන්නට සැලසුම් ගණනාවක් සකස් කොට තිබෙනවා. පසුගිය වසර දෙක තුළ පමණක් සුළං හා සූර්ය බලය යොදා ගෙන සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් දේශීය විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපට පුළුවන් වුනා.

පසුගිය වසරේ දී ආරම්භ කොට මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන මෙගා වොට් 100ක් පමණ වන තම්බපන්නී සුළං විදුලි බලාගාරයේ ධාරිතාව මේ වසරේ දී තවත් මෙගා වොට් 50කින් ඉහළ නැංවීමට කටයුතු කරනු ලබනවා. මීට අමතරව “ගමට බලාගාරයක්” වැඩසටහන යටතේ කිලෝ වොට් 100ක ධාරිතාවක් සහිත ග්‍රාමීය මට්ටමේ කුඩා සුර්ය බලාගාර 7000ක් දේශීය ආයෝජකයන් හරහා ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙන අතර ඉන් මෙගා වොට් 560ක් ඉදිරි වසර දෙක තුළ විදුලි බල පද්ධතියට එකතු වෙනවා. එමෙන්ම පසුගිය වසරේ ඉන්දියානු ජනරජය සමඟ අත්සන් කරනු ලැබූ, රුපියල් කෝටි 2000ක ණය පහසුකම තුළින් රජයේ කාර්යාල පියසි මත සූර්ය පැනල (Rooftop Solar Panels) සවි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබෙනවා.

මෙගාවොට් 120ක උමා ඔය සහ මෙගා වොට් 35ක බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරවල ඉදිකිරීම් මේ වන විට අවසන් වෙමින් පවතිනවා. මොරගොල්ල ජල විදුලි බලාගාරයේ කටයුතු 2023 දී අවසන් කිරීමට අපේක්ෂා කරනවා.

වසර 2050 වන විට කාබන් ශුන්‍යතාව ඉලක්කය සාක්ෂාත් කර ගැනීම අපේ අපේක්ෂාවයි. මේ වන විටත් ගෝලීය ගල් අඟුරු විරහිත බලශක්ති සංයුක්ත ගිවිසුමේ සම නායක‍යෙක් ලෙස ශ්‍රී ලංකාව පත් වී සිටිනවා. මොනම හේතුවක් නිසාවත් මින් ඉදිරියට ගල් අඟුරු බලාගාර ඉදි කරන්නට අප අනුමැතිය ලබා දෙන්නේ නැහැ.

ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අධ්‍යාපනයට ඉතා වැදගත් ස්ථානයක් හිමි විය යුතු බව මම නිරන්තරයෙන්ම ප්‍රකාශ කොට තිබෙනවා.

අපට අවශ්‍යව තිබෙන්නේ නව ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය ගැන අප විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. එතෙක් 379ක් ව පැවති ජාතික පාසල් ප්‍රමාණය තවත් පාසල් දහසකින් ඉහළ නංවන්නට අප ක්‍රියා කරනවා. පාසල් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් මෙවර අයවැයෙනුත් අප වෙන් කොට තිබෙනවා. පාසල් අතර ඇති පරතරය අවම කිරීම සඳහා ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සෑම පාසලකටම අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට අප කටයුතු කරනවා.

නව ලොව තුළ තරුණ පරපුරට රැකියා හා ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට තාක්ෂණ අධ්‍යාපනයේ ඇති වැදගත්කම අප හොඳින් හඳුනා ගෙන තිබෙනවා. එබැවින්, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත (STEM) විෂය ධාරා හදාරන සිසුන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ සෑම විශ්වවිද්‍යාලකටම ප්‍රතිපාදන වෙන් කොට වැඩ ආරම්භ කොට තිබෙනවා.

මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන් කුමන විෂය ධාරාවක් හැදෑරුවත්, ඒ සියලු දෙනාටම තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි හා ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම ලබා දෙන පාඨමාලා හඳුන්වා දීම සඳහා වන ප්‍රතිසංස්කරණ දැනටමත් හඳුන්වා දී තිබෙනවා.

උසස් පෙළ සමත්වන සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට ඇති හිමිකම අප එදා අවධාරණය කළා. ඒ අනුව සෑම විශ්වවිද්‍යාලයකම ධාරිතාව වැඩි කරන්නට කටයුතු කොට තිබෙනවා. අඩු පහසුකම් දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි පුරවර විශ්වවිද්‍යාල 10ක් (CITY UNIVERSITIES) අලුතින් පටන් ගන්නට සියලු සැලසුම් සකස් කොට අවසන්.

මෙම ප්‍රතිසංස්කරණ හරහා මේ වන විටත් විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය 35%කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව, මීට පෙර ඇතුළත් කර ගන්නා ලද 30,000ක් පමණ වන සිසුන් සංඛ්‍යාවට අමතරව අලුතින් සිසුන් 10,000ක් බඳවා ගන්නට පසු ගිය වසරේ දී අපට හැකියාව ලැබුණා. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ද 500කින් පමණ ඉහළ නංවා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන හා සුබසාධන පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා. මීට අමතරව විවෘත විශ්වවිද්‍යාලයේ තාක්ෂණික උපාධි සඳහා අලුතින් සිසුන් 10,000ක් බඳවා ගන්නටත් කටයුතු කළා. මෙම සිසුන්ට පළමු වසරේ සිටම රැකියාවක නිරත වන අතරතුර අධ්‍යාපනය ලබාගැනීමට හැකි වන පරිදි පාඨමාලා සකස් කොට තිබෙනවා.

කෙසේ වෙතත්, තවමත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ වාර්ෂිකව විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සිසුන්ගෙන් 25%කටත් අඩු ප්‍රමාණයක් පමණයි. මේ තත්ත්වය යටතේ, වසරින් වසර ඉහළ යන ජනගහනයට සාපේක්ෂව උසස් පෙළ සමත්වන සියලුම සිසුන් සඳහා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් රජය මගින් පමණක් ලබා දීම තවදුරටත් යථාර්ථයක් නොවන බව අප වටහා ගත යුතුයි.

විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් තිබුනත්, ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමත්, මුදල් වැය කොට හෝ උසස් අධ්‍යාපනය සඳහා මෙරට තුළ අවස්ථාවක් නොමැති වීම හේතුවෙන්, බොහෝ තරුණ පිරිසක් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. යම් හැකියාවක් පවතින පිරිස දෙමව්පියන්ගේ ඉඩකඩම් විකුණා හෝ පිටරට අධ්‍යාපනය සඳහා යොමු වෙනවා. අනෙක් අය අසරණ වෙනවා.

අපේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් පිටරට යවනවා වෙනුවට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු විශ්වවිද්‍යාල පද්ධතියක් හරහා විදේශ සිසුන් පවා ලංකාවට ආකර්ෂණය කර ගැනීමට පවතින අවස්ථාව අප අහිමි කරගෙන තිබෙනවා.

ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට අයත් වන බොහෝමයක් විශ්වවිද්‍යාල ලාභ නොලබන ආයතන ලෙස කටයුතු කරන එහෙත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයි. ඒ විශ්වවිද්‍යාල සියල්ලේම වගේ දක්ෂ සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ශිෂ්‍යත්ව පහසුකම් ලබා දෙනවා. ලෝකයේ බොහෝ රටවලට පොදු මේ ආකෘතිය අපේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ.

අපේ රට තුළත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කළ හොත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු ලොව පිළිගත් උසස් අධ්‍යාපන ආයතන ලංකාවට ආකර්ෂණය කරගැනිමේ අවස්ථාව අපට හිමි වෙනවා. ඒ හරහා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ධාරිතාව වැඩි කොට වැඩි පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන්නට පුළුවන්.

මේ අවස්ථාව රටේ දරුවන්ට ලබා නොදීමට සාම්ප්‍රදායික දේශපාලනික මතවාද හැරුණු විට වෙනත් කිසිම හේතුවක් නැහැ. මෙය සිදු කිරීමට රටේ නීති රාමුව වෙනස් කළ යුතු නම් එය සිදු කළ හැක්කේ මේ පාර්ලිමේන්තුවට පමණයි.

ඒ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරන අතර ඉහළ ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රට තුළ ආරම්භ කිරීම සඳහා අවසර දිය යුතුද යන්න පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලෙස මා මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා.

අද මුළු ලෝකයම තාක්ෂණය සමඟ ඉදිරියට යමින් තිබෙන යුගයක්. අපේ රටේ සංවර්ධන අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහාත් සෑම ක්ෂේත්‍රයකම තාක්ෂණය භාවිතය ඉතා වැදගත් වෙනවා.

තාක්ෂණයෙන් බලගැන්වුන ඩිජිටල් ආර්ථිකයක් සමඟ සුහුරු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ අප විශාල වැඩ කොටසක් සිදු කළා.

මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනා TRCSL, ICTA හා CERT වැනි සියලුම රජයේ ආයතන සම්බන්ධීකරණය කරමින් ඒවාට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමටත්, ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීමටත් වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවීමට අප කටයුතු කළා.

ඕනෑම ‍රටක් ඩිජිටල්කරණය කිරීම සඳහා අන්තර්ජාල හා සන්නිවේදන තාක්ෂණ‍‍‍‍ යටිතල පහසුකම් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා FIBER හා 4G ජාලයන් ව්‍යාප්ත කොට රටේ සෑම ප්‍රදේශයකටම BROADBAND අධිවේගී අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබා දීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. දිස්ත්‍රික්ක 8ක් ආවරණය කරමින් ගම්මාන 300කට වැඩි ප්‍රමාණයක් දැනටමත් මෙම ජාලයන්ට සම්බන්ධ කොට අවසන්. ඉතා කෙටි කාලයක් තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකටම FIBER හා 4G ජාලා ව්‍යාප්ත කොට ලොකු කුඩා සෑම පාසලකටම BROADBAND අධිවේගී අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබා දීමට අප කටයුතු කරනවා.

පසුගිය කොවිඩ් -19 ගෝලීය වසංගතය පැවති කාලපරිච්ඡේදය තුළ නිවසේ සිට රාජකාරි කිරීමටත් (Work From Home), මාර්ගගත ක්‍රමවේදය හරහා (ONLINE) අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමටත්, අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමටත් ජනතාවට හැකියාව ලැබුණේ මෙලෙස ශීඝ්‍රයෙන් දියුණු වන යටිතල පහසුකම් නිසයි.

මෑතක දී පළ වූ International Telecommunication Union වාර්තාවලට අනුව, ලෝකයේ බොහෝමයක් රටවල් හා සසඳන විට සන්නිවේදන ගාස්තු අඩුම රටවල් අතර අප පෙරමුණේ ම සිටිනවා.

නිදහස් අධ්‍යාපන සංකල්පය ඩිජිටල් අවකාශයට ගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ICTA ආයතනය එකතුව ගොඩනගන ලද ඊ තක්සලාව පද්ධතිය සියලු පාසල්වල නිල මාර්ගගත අධ්‍යාපන පද්ධතිය ලෙස ස්ථාපනය කොට තිබෙනවා. සම්පූර්ණයෙන්ම අන්තර්ජාල සේවා ගාස්තු වලින් නිදහස් කොට ඇති මේ පිවිසුම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටත් දැන් විවෘතයි.

රාජ්‍ය පරිපාලන කටයුතු වලට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමත් අප විසින් ගනු ලැබූ තවත් ප්‍රමුඛ පියවරක්. ඒ අනුව ප්‍රමුඛතා ලෙස හඳුනා ගත්, සෞඛ්‍ය, කෘෂිකර්ම, අධිකරණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රාජ්‍ය ආයතනවල ඩිජිටල්කරණ ක්‍රියාවලිය මේ වනවිටත් වේගයෙන් සිදු වෙමින් පවතිනවා.

ජනතාව බොහෝ කාලයක් බලා සිටි ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමේ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබෙනවා. මෙය හඳුන්වා දීමේ පළමු පියවර මේ වසර තුළ අප ආරම්භ කරනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් හා තාක්ෂණවේදී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ පසුගිය වසර දෙක තුළ විශාල වැඩ කොටසක් කර තිබෙනවා. තරුණ තාක්ෂණවේදීන්ට රටේ ඕනෑම තැනක සිට ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හා එම ව්‍යාපාරය කරගෙන යාමට හැකි වන ආකාරයට ජාතික මට්ටමෙන් පහසුකම් ගොඩනැංවිමට අප කටයුතු කරමින් සිටිනවා. දේශීය තාක්ෂණවේදීන්ට පමණක් නොව Digital Nomad වැඩසටහන හරහා පිටරටවල සිට පැමිණෙන තාක්ෂණවේදීන්ට ද ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට පිටරටවලට සේවා සපයන්නට හැකි ආකාරයට යටිතල පහසුකම් දියුණු කරන්නට අප කටයුතු කරමින් සිටිනවා.

මේ වන විටත් ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ ඉදි කෙරෙමින් පවතින තාක්ෂණික උද්‍යාන හරහා ශ්‍රී ලාංකේය නවෝත්පාදන දිරි ගැන්වීමට මෙන්ම විදේශ තාක්ෂණික ආයතනත් ලංකාවට ගෙන්වා ගන්නට අප බලාපොරොත්තු වෙනවා.

ශීඝ්‍රයෙන් සිදු වන ඩිජිටල්කරණයට සමගාමීව එයට අදාළ නෛතික වටපිටාව ද යාවත්කාලීන කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ජනතාවගේ දත්ත ආරක්ෂාව සඳහා වූ දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට මෙන්ම ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වූ සයිබර් ආරක්ෂක පනත් කෙටුම්පතටත් මේ වනවිටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. ලංකාවේ සබ්මැරීන් කේබල් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වූ නව නීති පද්ධතිය ද මේ වන විට කෙටුම්පත් වෙමින් තිබෙනවා.

මේ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීමේ දී කලාපයේ කිසිදු රටකට නොදෙවෙනි ආකාරයට නවීන තාක්ෂණය යොදා ගැනීමට රජය කටයුතු කරනවා. ඉතා ඉක්මනින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවන අපනයන ක්ෂේත්‍රයක් බවට ICT / BPM ව්‍යාපාර ගොඩනංවන අතර එමගින් තාක්ෂණයෙන් බල ගැන්වුන රටක් බවට අනාගත ශ්‍රී ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපේ අනාගත පරපුරට නව තාක්ෂණය භාවිතයෙන් හා තමුන්ගේම නිර්මාණ හරහා ලෝකයේ ඕනෑම රටක් සමඟ තරඟ කළ හැකි වටපිටාවක් සකස් කර දීමට අප කටයුතු කරනවා.

අප ඉතිහාසය පුරා ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දුන් ජාතියක්. රටට නිසි නායකත්වයක් තිබුණු අවස්ථාවල අප ඒ අභියෝග සාර්ථකව ජය ගත්තා.

මේ අවස්ථාවේත් අපට තියෙන අභියෝග ජය ගන්නට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මම සූදානම්.

වර්තමාන අභියෝග ජය ගෙන ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශය ඉදි කිරීමට අවශ්‍ය කරන සැලසුම් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.

අපේ ඉලක්කය ඉදිරි වසර කිහිපය තුළ කලාපයේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් බවට යළිත් ශ්‍රී ලංකාව පත් කිරීමයි. මේ සඳහා කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන අංශ තුනෙහිම පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා.

අපේ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මට ඔබගේත් ජනතාවගේත් සහාය අවශ්‍යයි.

මේ රට අයිති මේ රටේ වර්තමානයේ ජීවත් වන මෙන්ම අනාගතයේ ජීවත් වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරනා ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලු දෙනාම අනාගත පරම්පරාවට වගකිව යුතුයි.

ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ඔබ සියලු දෙනාටම ස්තුතියි.

තෙරුවන් සරණයි!

Related posts

Leave a Comment