රවී ඇතුළු පිරිසට බන්ධනාගාරයේ දී PCR පරීක්ෂණ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා අද (18) දිනයේ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ නීතිඥයින්ට සහ ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඔවුන් බැලීම සඳහා අවස්ථාව හිමිවන බවය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා ඊයේ (17) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. 

එහිදී, මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි. 

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව තිබේ. 

මේ අතර බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා රැඳී සිටි සිරමැදිරිය අසල ස්ථානයක තිබී දුරකථනයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද චන්දන ඒකනායක මහතා පැවසීය. 

Related posts

Leave a Comment