පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මාතෘ මරණ ඉහළ යෑමට හේතුව

පසුගිය වසරේ දකුණු ආසියානු කලාපීය මාතෘ මරණවල තියුණුම වැඩිවීම ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කොවිඩ් වසංගතය පාලනයට ගෙන ආ සීමා හේතුවෙන් කලාපීය මාතෘ මරණ ප්‍රතිශතය ඉහළගොස් ඇති අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මාතෘ මරණ සියයට 21.5ක් ලෙස දැක්විණි.

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම් හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ මාතෘ හා ළමා මරණ 239,000 ඉක්මවා වාර්තාවී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවලින් එම තත්ත්වය වාර්තාවී ඇති බවය.

දකුණු ආසියානු කලාපයේ ජනගහණය බිලියන 1.8කි. එම රටවල්වල කොවිඩ් ආසාදිතයින් මිලියන 13ක් පමණ වාර්තා වී ඇති අතර කොවිඩ් ආසාදිත මරණ 186,000ක් පමණ සිදුව තිබේ.

කොවිඩ් සීමා හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා අඬපණවීමත්, ප්‍රතිශක්තීකරණයට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීමත් නිසා වයස අවුරුදු 5ට අඩු දරුවන්ට මව්වරුන්ට සහ යෞවනයින්ට වැඩි බලපෑමක් එල්ලවී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ගෙවුණු වසරේ ඉන්දියාවේ ළමා මරණ අනුපාතය සියයට 15.4ක් ලෙස වාර්තා වී තිබේ.

එමෙන්ම ගෙවුණු කාලයේදී එම කලාපයෙන් අනපේක්ෂිත ගැබ්ගැනීම් මිලියන 3.5ක් වාර්තාවී ඇති අතර එම තත්ත්වයට ගොදුරුවූවන්ගෙන් ලක්ෂ 4ක් පමණ නව යොවුන් තරුණියන් බවද එම වාර්තාවේ දැක්වේ.

Related posts

Leave a Comment