ETI හිටපු අධ්‍යක්ෂවරැන්ගේ කලු සල්ලි වංචාව අධිකරණයේ දී හෙලිවේ

රක්ෂිත බන්ධනාගාරගත කළ ETI සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනවල අධ්‍යක්ෂවරුන් සිව්දෙනා එම ආයතන තුළින් රුපියල් බිලියන 13.6කට ආසන්න මහජන තැන්පතු වංචාකර ඇති බව නීතිපතිවරයා ඊයේ (17) අධිකරණයේදී අනාවරණය කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ එකම පවුලක සමාජිකයින් සිව්දෙනෙකු සිදුකළ මෙම දැවැන්ත වංචාවෙන් අසරණ වී ඇති පවුල් සංඛ්‍යාව 1000කට ආසන්න බවය.

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය තුළ සිදුවු ව්‍යවස්ථාපිත වැරදි සහ මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙවන වරටත් අත්අඩංගුවට ගැණුනු ETI සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂකවරුන් ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර තිබුණි.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැවසුවේ, ආනයනය, අපනයනය සහ අලෙවියට පමණක් නෛතික අනුමැතියක් ලබාගෙන තිබු ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් ආයතනය මහජනතාවගේ මුල්‍ය තැන්පතු පවත්වාගෙන යාම ව්‍යවස්ථාපිත වරදක් බවය.

නිත්‍යානුකූල නොවන අන්දමින් තැන්පතු පවත්වාගෙන යාම හරහා 2010 දෙසැම්බර් වනවිට ස්වර්ණමහල් ආයතනය තුළ රුපියල් මිලියන 583කට ආසන්න මහජන තැන්පතු වගකීම් එක්රැස් වී තිබු බවත් එය 2011 සැප්තැම්බර් වන විට මිලියන 7200 ක් දක්වා වර්ධනය වී ඇති බවත් ජයසුන්දර මහත්මිය අධිකරණයට පෙන්වා දුනි.

ඇය පැවසුවේ, එම මහජන තැන්පතු වගකීම් වහා යළි තැන්පතුකරුවන්ට ලබාදෙන ලෙස මහ බැංකුව දුන් නියෝග නොතකා මෙම අධ්‍යක්ෂකවරුන් ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ පැවති තැන්පතු ETI ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයට මාරුකර ඇති බවය.

එසේම මෙම තැන්පතු මාරුකරන අවස්ථාවේදී මහ බැංකුවට හෙළිනොකළ රුපියල් මිලියන 6400 ක කළු සල්ලි ඇතුළත් ගිණුම් ETI ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනය පවත්වාගෙන ගොස් ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ අනාවරණය කළාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ ඉතා සුක්ෂමව කරුණු අධ්‍යනය කිරීමේදී මෙම අධ්‍යක්ෂවරුන් සිදුකර ඇති සමස්ථ මුල්‍ය වංචාවේ අගය රුපියල් මිලියන 13,600 ක් වන බවයි. 

ඒ අනුව මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය වී ඇති මෙවැනි වරදකට වසර 05කට නොඅඩු සිර දඬුවමක් ලබාදිය හැකි බව පෙන්වා දුන් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමක් කළාය.

මෙහිදී ETI අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසුවේ, සැකකරුවන්ට එකම වරද සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයෙන් ඇප ලබාදීමක් සිදුව ඇති බැවින් මෙවරද ඇප ලබාදෙන ලෙසය. 

මෙලෙස වරින් වර අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ, නීතිපතිවරයා අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව ටිකින් ටික පාඩම් කිරීම හේතුවෙන් දැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

කරුණු සලකාබැලු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඇප අයැදුම සම්බන්ධයෙන් වු තීරණය ලබන 30 වනදා ලබාදෙන බව ප්‍රකාශ කරමින් සැකකරුවන් සිව්දෙනා එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගකර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂවරුන් සිව්දෙනා රැගෙන යනු ලැබුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙතය.

Related posts

Leave a Comment