හෝටලය හැදූ ඉඩම සිංහරාජයට – තවත් අක්කර 1500ක් සිංහරාජයට පවරා ගැනීමට තීරණයක්

සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමක් හෙළි කර හෝටලයක් ඉදිකිරීමට සූදානමක් ඇතැයි කියන අක්කර 07කින් යුතු එම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙම ඉඩම මෙන්ම තවත් අක්කර 1500ක පමණ බිම් ප‍්‍රමාණයක් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

දැනට එම ඉඩම් තුළ පවුල් 135ක් පදිංචිව සිටින බැවින් ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට රජයට සිදු වන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ අතර හෝටලයක් ඉදි කරන ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාව පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අවධානය යොමු කර තිබෙන බව ද හෙතෙම කීවේය.

සිංහරාජ වනාන්තරයට අයත් අක්කර 07ක ඉඩමක් හෙළි පෙහෙළි කර එහි හෝටලයක් සෑදීමේ උත්සාහයක් ඇතැයි සඳහන් කරමින් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධව පරිසර අමාත්‍යාංශය පූර්ණ අවධානය යොමු කර ඇතැයි ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම කාරණය සම්බන්ධව සොයා බැලීමේදී මෙම ඉඩමේ අයිතිය පිළිබඳව නිරවද්‍යතාව සොයා බැලීමට පූර්ණ විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළ බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

එමෙන්ම මෙම ඉඩමේ වටිනා ගස් තිබුණේ නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව තහවුරු වී තිබේ. එමෙන්ම රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව ඔවුන් ද තහවුරු කර තිබේ.

මෙවැනි සිදුවීමක් වන තුරු තම රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම්වරයා හා ග‍්‍රාම නිලධාරියාත් වගකිවයුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවද ලබන සතිය වන විට මෙම සිද්ධිය සම්බන්ධව අවසන් තීරණයකට ඒමට රජය කටයුතු කරන බවත් කී ඇමැතිවරයා මෙම ඉඩම සම්බන්ධව දැනට අයිතිය පළ කරන පුද්ගලයන් කිසියම් අනීතික ක‍්‍රියාවන් සිදු කර ඇත්නම් තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බව ද කියා සිටියේය.

එමෙන්ම මෙම ඉඩමට අයත් වටිනා ගස් කපා ඉවත් කිරීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන බවත්, මොවුන් නිසි අවසරයකින් තොරව වටිනා ගස් කපා ඉවත් කර ඇත්නම් ඒ සඳහා ඊට එරෙහිව තමන් නඩු පැවරීමේ වගකීම භාර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

  318 total views,  318 vie

Related posts

Leave a Comment