මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට වෙස්ට්මිනිස්ටර් අධිකරණය දුන් තීන්දුව අවලංගු කෙරේ

බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ඇමැති උපදේශක (ආරක්ෂක) මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව එරට වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් අවලංගු කර තිබේ.

තමා සම්බන්ධයෙන් වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය (ආරක්ෂක) මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් එක්සත් රාජධානියේ මහාධිකරණය වෙත කරන ලද අභියාචනය සඳහා මේ මස 19 වැනි දින අවසර ලබාදෙන ලද අතර එහිදී මහාධිකරණය විසින් එහි තීන්දුව මේජර් ජෙනරාල් ප්‍රනාන්දුට මහතාට පක්ෂව ලබාදෙන ලද අතර, වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 2019 වසරේ දෙසැම්බර් 6 වැනි දින ඔහු වරදකරු කරමින් ලබාදෙන ලද තීන්දුව අවලංගු කොට ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේජර් ජෙනරාල් ප්‍රනාන්දු මහතාට ඔහුගේ නඩු ගාස්තු ගෙවන ලෙස ද පසුගිය 2018 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනයේ දී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ එල්.ටී.ටී.ඊ හිතවාදී උද්ඝෝෂකයන් වන විත්තිකරුවන්ට නියෝග කර තිබේ.

මහාධිකරණය විත්තිකරුවන්ගේ තර්ක තරයේම ප්‍රතික්ෂේප කර තිබෙන අතර, මේජර් ජෙනරාල් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ තර්ක පිළිගැනීම, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම රාජ්‍ය පාර්ශ්වයන් වන 1961 රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ අඩංගු වන පරිදි රාජ්‍යතාන්ත්‍රික මුක්තිය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් තහවුරු කර ඇත.

Related posts

Leave a Comment