පළාත් සභා පනතට සංශෝධන ගෙන එන්නේ නම් සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර අදහස් විමසිය යුතුයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පළාත් සභා පනතට සංශෝධන ගෙන එන්නේ නම්, එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් වීමසීමෙන් පසුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

‘යහපාලන ආණ්ඩුව දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරලා. ඒත් වත්මන් ආණ්ඩුව විසි වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ විපක්ෂය සමඟ සාකච්ඡා නොකර හිතුවක්කාර ලෙස. මොවුන් ඒ ආකාරයෙන්ම පළාත් සභා පනතට සංශෝධන ගෙන ඒමට ද උත්සාහ කරනවා.

සකස් කරන බව කියන නව ව්‍යවස්ථාවට අදහස් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුව කළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් සමඟි ජන බලවේගය මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් බවට පත් කරන ලෙස දැනුම් දුන්නා. නමුත් ඔවුන් මේ යෝජනා දෙකටම අකමැති වූණා.

මේ සඳහා රජය පත් කර තිබෙන්නේ ඔවුන්ට පෞද්ගලික හිතවත්කම් ඇති නීතිඥ මහත්වරුන්. සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නීතිඥ මහත්වරුන්ට ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ එකඟතාවක් නොමැති බවයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ නිසා එම කාරණය හැර සෙසු කරුණු පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස සමඟි ජන බලවේගයේ නීතිඥවරුන්ට දැනුම් දී තිබෙනවා.

සීනී වංචාවෙන් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුව තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරන්නේ නම්, තවත් ඒ සම්බන්ධව පරීක්ෂණ අවශ්‍ය නෑ. එනිසා ඉක්මනින් අදාළ අයට එරෙහිව නඩු පවරන ලෙස රජයට කියනවා. යහපාලන සමයේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවරීම නිසා එම සමාගම්වල බැංකු ගිණුම් සීල් තැබීමට හැකි වූණා. එම ගිණුම්වල අදටත් රුපියල් කෝටි 1200ක් රඳවා තබා තිබෙනවා.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment