බුද්ධ චරිතය-ත්‍රිපිටකය-සිද්ධස්ථාන ගැන දුර්මත පතුරවන්නන් සොයන්න කමිටුවක්

බුද්ධ චරිතයට, ත්‍රිපිටකයට සහ බෞද්ධ සිද්ධස්ථානවලට වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන අය සම්බන්ධයෙන් සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කෙරේ.

ඒ අනුව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේණාධිපති බළංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නැදගමුවේ විජයමෛත්‍රී, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී ඊතල වැටුණු වැවේ ඤාණතිලක, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේලා එහි සාමාජිකයෝ වෙති.

බෞද්ධ උපදේශක සභාව පසුගිය (19) දා පස්වරුවේ 9 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස කමිටුව කඩිනමින් ස්ථාපනයට තීරණය කෙරිණි.

“ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. බෞද්ධ ප්‍රතිරූපකයන් සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයන් බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටිති. පිරිසුදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම්සහගත කුමන්ත්‍රණය වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහා සංඝරත්නය අවධාරණය කළහ.

සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැක ගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටිති. ඒ පිළිබඳ කනගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාල හරහා ගෙනයන මේ වැඩපිළි‍වෙළ කෙරෙහි ද කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ද සාකච්ඡා කෙරිණි. ත්‍රිපිටකය රැක ගනිමින් සංරක්ෂණය කිරීම යනු අපගේ බෞද්ධ උරුමයත්, සංස්කෘතියත් ආරක්ෂා කිරීමයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බව පෙන්වා දුන් මහා සංඝරත්නය, ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගැන්වීම පිළිබඳ ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, කෙටුම්පත මහා නායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර මසක් තුළ සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය විය. පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර, එහි ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.

අපේ රටේ බොහෝ පුරාවිද්‍යා ස්මාරක යනු බෞද්ධ උරුමයක් වන අතර, පුරාවිද්‍යාත්මකව කාසියක් හෝ පෞරාණික භාණ්ඩයක් දෙස හෝ බලන අයුරින් පමණක් ඒ දෙස බැලීම සුදුසු නොවන බව පෙන්වා දුන් මහා සංඝරත්නය තීරණ ගැනීමේ දී අදාළ නිකාය මූලස්ථානවල අදහස් හා යෝජනා අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළහ. ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යෑමේ දී භික්ෂුන් වහන්සේට රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වී ඇති ගැහැට පිළිබඳ ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ මහා සංඝරත්නය උන්වහන්සේට නිදහස්ව ආරණ්‍ය සේනාසනවලට වැඩවිසීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ඉල්ලා සිටියහ. පරිසරය සහ සතා සීපාවා රැකගැනීමට අතීතයේ පටන් මහා සංඝරත්නය සුවිශාල කැප වීමක් කළහ. භික්ෂුන් වහන්සේගෙන් කිසිදා පරිසරයට හානියක් නොවන අතර, කිසිවකුට පරිසරයට හානි කිරීමට උන් වහන්සේලාගෙන් ඉඩක් නොලැබෙන බවද අවධාරණය කෙරිණි.

තවමත් රටේ ජනගහණයෙන් සියයට 75ක් පමණ වන ග්‍රාමීය ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ගැටලු සමුදායකින් පීඩා විඳිති. ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට ගමින් ගමට යමින් ජනාධිපතිවරයා දෙන ආදර්ශය අගය කළ උන් වහන්සේ ඊට ද එරෙහිව ඇතැම් පිරිස් ගෙන යන සාවද්‍ය ප්‍රචාර නිසා ගමටයාම නතර නොකරන්නැයි ඉල්ලා සිටියහ. වත්මන් රජය බලයට පත්කිරීමට අති බහුතර ජනතාවක් කැප වීමෙන් ක්‍රියා කළහ. ජනතාව අනුමත කළ එම ප්‍රතිපත්ති මාලාව සැමදා ආරක්ෂා කළ යුතුය. අවශ්‍ය වන්නේ තමා ආරක්ෂා කිරීම නොව ජනතාව අනුමත කළ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. රජයට එරෙහි විවිධ මඩ ප්‍රහාර දියත් වී ඇත්තේ මේ ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා ඇතැම් පිරිස් විශාල මුදලක් වැය කරමින් සිටින බවත්, මේ කුමන්ත්‍රණ කඩිනමින් ජනතාවට හෙළි කළ යුතු බවත් කියා සිටියේය.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, විදුර වික්‍රමනායක, විජිත බේරුගොඩ රාජ්‍ය අමාත්‍යවරු සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment