පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට හා ඔහුගේ බිරියට කොරෝනා වැළඳෙයි

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට හා ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. 68 හැවිරිදි වියෙහි පසුවන හිටපු පකිස්තාන ක‍්‍රිකට් නායකයෙකුද වන අගමැති ඛාන් ඉකුත් බ‍්‍රහස්පතින්දා (18දා) චීන කොරෝනා මර්දන එන්නතක් වන සයිනොෆාර්ම් එන්නතේ ප‍්‍රථම මාත‍්‍රාව විදගෙන ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසු මේ වන විට සිය නිවෙස තුළ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින බව පකිස්තාන රජයේ සෞඛ්‍ය ඇමැති ෆයිසාල් සුල්තාන් ප‍්‍රකාශ කර තිබේ.

පකිස්තානය විසින් සිය රටේ වැසියන්ට ලබා දෙන එකම කොරෝනා මර්දන එන්නත සයිනොෆාර්ම්’ එන්නත වන අතර එම එන්නත් මාත‍්‍රාව ලබා ගත් පසු පුද්ගලයෙකු තුළ කොරෝනා වෛරසයට එරෙහිව ප‍්‍රතිශක්තිය නිපදවීම සඳහා සති කිහිපයක් ගත වන නිසා පකිස්තාන අගමැතිවරයාට කොරෝනා ආසාදනය වැළඳීම මුල් කරගෙන කොරෝනා එන්නත විදගැනීමට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස එරට වැසියන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉල්ලීම් කර තිබේ. අගමැති ඛාන්ගේ ප‍්‍රකාශක ශබාස් ගිල් ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ අගමැතිවරයාට සුළු කැස්සක් හා උණ පවතින බවයි කරුණාකර අගමැති ඛාන්ට කොරෝනා ආසාදනය වැළඳීම හා කොරෝනා එන්නත ලබා ගැනීම එකිනෙකට සම්බන්ධ කරන්න එපා, ඔබගේ වැඩිහිටියන් හා ආදරණීයයන්ට කොරෝනා එන්නත ලබා ගැනීමට පියවර ගන්න යැයි ඔහු සිය සටහනෙන් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. තුන්වැනි කොරෝනා වසංගත රැල්ල හේතුවෙන් පකිස්තානයේ ඇතැම් ප‍්‍රදේශ මේ වන විට අගුලූ දමා තිබේ.

Related posts

Leave a Comment