අල්ලස් කොමිසම නඩු 45ක් ඉල්ලා අස්කර ගනී – ජනාධිපති නීතිඥ උසාවියේදී කියයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරුන් තිදෙනාගේම පූර්ණ අනුමැතිය නොමැතිව අල්ලස් කොමිෂන් සභා අධ්‍යක්‍ත්‍ෂ ජනරාල් විසින් පවරා ඇති නඩු 45ක පමණ චෝදනාපත‍්‍ර ඉල්ලා අස්කර ගෙන නඩු කටයුතු අවසන් කිරීමට එම කොමිෂන් සභාවේ නව සභාපතිනිය ඇතුළු නව කොමසාරිස්වරුන් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේය.

අල්ලස් කොමිෂන් සභාවේ සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනෝමා පොල්වත්ත එදිරිව අල්ලස් කොමිෂන් සභාව නඩවේ තීන්දුව මගින් ප‍්‍රකාශයට පත්කර ඇති බැවින් එකී නඩු තීන්දුව අනුගමනය කිරීමට අල්ලස් කොමිෂන් සභාව තීරණය කර ඇතැයිද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී තීරණය අනුව මේ වනවිටත් අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හා මහාධිකරණය හමුවේ විභාග වූ නඩු කටයුතු කිහිපයක චෝදනාපත‍්‍ර ඉල්ලා අස්කර ගෙන ඇතැයිද ජනාධිපති නීතිඥවරයා එහිදී කරුණු දක්වනු ලැබීය.

තමන් එවන් තීරණයක් පිළිබඳ දැනුවත් නොමැති නමුත් විත්තිය මූලික විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සිය කොමිෂන් සභාවේ තීරණය අධිකරණයට දැනුම් දීමේ හැකියාව පවතින බව අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

නියමිත ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුගමනය නොකොට ලක්සල ආයතනයට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශයට පැවරීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් ලක්සල හිටපු සභාපතිවරයෙකු වන අනිල් කොස්වත්ත, උපාලි ධර්මසිරි, ලක්‍ෂ්මි මිනෝලි එදිරිවීර පෙරේරා හා රෝහිනි මල්කාන්ති පෙරේා යන සැකකරුවන් සිවුදෙනාට එරෙහිව පවරා තිබූ එම නඩුව ලබන ජුනි 4 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය මහතා සමග ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විත්තිය නියෝජනය කළේය.

විත්තිය මූලික විරෝධතා ඉදිරිපත් කළත් නැතත් එවැනි ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත්නම් සෑම නඩු කටයුත්තකදීම එක හා සමාන ආකාරයෙන් කටයුතු කිරීමට අල්ලස් කොමිසමේ වගකීම වන්නේ යැයි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

Related posts

Leave a Comment