කොළඹ සහ මහනුවර වායු දූෂණය WHO නිර්දේශ මට්ටම් ඉක්මවා යයි

කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව පවතින වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කර ඇති නිර්දේශිත මට්ටම  පවා ඉක්මවා ගොස් ඇති බවට හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50කට අඩු මට්ටමක පැවැතිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල දී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල 150-165 දක්වා ඉහළ යන අවස්ථා පවතී. විශේෂයෙන්ම මහනුවර නගරය කඳුයායකට මැදිව පවතින නගරයක් බැවින් එහි වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශ ඉවතට ඇදී යාමක් සිදු නොවේ.

අද (23) පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එම සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය කමණි ගුරුගේ, යන මහත්වරු ද සහභාගි වි සිටියහ.

එමෙන්ම කොළඹ නගරය ආසන්නයෙන්ම සාගරය පවතින බැවින් හමා එන සුළං නිසා ක්ෂුද්‍ර අංශ මෙම වායු ගෝලයේ රඳා පැවැතීමක් ද සිදු නොවේ.නමුත් ඇතැම් අවස්ථාවල දී ඉන්දියාවේ සිට හමා එන සුළං දහරාවන් සමග එහි වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශ කොළඹ නගරයට බලපෑමක් එල්ල කර තිබේ.

කොළඹ නගරයේ හා මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම කුරුණෑගල හා ගාල්ල නගර සීමාවල ද තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතී. ඒ වායු දූෂණයෙන් සියයට 65කටම වගකිව යුත්තේ වාහනවලින් නිකුත් කරන දුම් බැවිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොවිඩ් 19 අවසන් වුවත්, මහනුවර නගරයේ දරුවන් හා වැඩිහිටියන්ට මුව ආවරණ පැළඳ සිටිය යුතු තත්ත්වයක් පැන නැගී පවතින බවයි.

එම නිසා වායු තත්ත්වයන් මනින ස්ථාන දැනට පවතින්නේ  ස්ථාන දෙකක පමණක් නිසා එම ස්ථාන සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමටත්, ඉදිරි අයවැය ලේඛනයේ දී මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ  නම් විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජයේ අවධානය යොමු කිරීමටත්, පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන වන විනාශයන් සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා වන විනාශයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන අසත්‍ය කරුණු නිසා සත්‍ය කරුණු යට යන බවත්, එමගින් විශාල හානියක් සමාජයට සිදු වන බවත් කීය. අප රටේ නොවැඩෙන ඕක් ගස් පවා කපන දර්ශන ඇතුළත්  ඡායාරූප සිංහරාජයේ වන විනාශයන් ලෙස දක්වා ඇති බවත් එමෙන්ම ඇමසන් වනාන්තරයේ සිදු කරන පරිසර හානි සිංහරාජයේ සිදුවන පරිසර හානි ලෙස ද දක්වා අදහස් පළ කර ඇති බවත් ඔහු පැවැසීය.

මෙවැනි කටයුතුවලින් වළකින ලෙසත් සැබෑ පරිසර හානි පෙන්වා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. කෙසේ වුවද මේ රටේ පරිසර හානි කිරීමට කටයුතු කරන පුද්ගලයින් රැසකට මේ වනවිටත් රජය විසින් නීතිමය පියවර ගෙන ඇති බවත් හෙතෙම කීය.

Related posts

Leave a Comment