රජය MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ – නීතිපති

ශ්‍රී ලංකාව සහ අමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර පසුගිය රජය සමයේදී අත්සන් කිරීමට සැලසුම් කර තිබූ එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට රජය ස්ථිර තීන්දුවක් ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. හමුදාවන් ස්ථානගත කිරීම සඳහා වූ ” SOFA” ගිවිසුම අත්සන් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සඳහන් කළාය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අගුරුවැල්ලේ ජිනානන්ද හිමි සහ නීතිඥ දර්ශන වේරදූවගේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මේ බව සඳහන් කළා ය.

ඒ. එච්. එම්. ඩී. නවාස්, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර, යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීමට තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළාය.

එවැනි ගිවිසුමක් ඇති කර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය විසින්ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද අමෙරිකානු හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ ‘SOFA” ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment