පැය 24ක් ඇතුළත රිය අනතුරුවලින් 9ක් මරුට

ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තිබේ.

එම අනතුරුවලින් පුද්ගලයන් 06 දෙනෙකු පෙරේදා (22) මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයන් 03 දෙනා මීට පෙර සිදු වූ රිය අනතුරුවලදී බරපතළ තුවාල ලබා ‍රෝහල් ගතව සිට මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එම අනතුරුවලින් පදිකයන් දෙදෙනෙකු යතුරුපැදිකරුවන් තිදෙනෙකු සහ මගීන් තිදෙනෙකු ලෙස අදාළ පුද්ගලයන්ගේ මිය යෑම් පොලිසියට වාර්තා වී ඇත.

දිනක රිය අනතුරුවලින් පුද්ගලයන් 09 දෙනෙකු 10 දෙනෙකු අතර ප්‍රමාණයක් මිය යන බවත් සාපේක්ෂ වශයෙන් එය වසරකට 3650ක් විය හැකි වන බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ නැතිවන ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇති බවත්, ඒ නිසා නිවැරදිව මාර්ග නීතිවලට අනුගතව විනයානුකූලව සුපරික්ෂාවෙන් රිය පැදවීමත්, මාර්ගයේ ගමන් කිරීමත් සිදුකරන ලෙස ඉල්ලා සිටී.

රාජගිරිය ආයුර්වේද වටරවුමේ පිහිටි ගුවන් පාලම අසලදී ඊයේ (23) උදෑසන 4.30ට පමණ සිදුවූ රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ අධික වේගයකින් පැමිණි වෑන් රථයක් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඒ අසල සිටි ලොරි රථ සහායකවරයා යටකරමින් ඉදිරියට ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

ගුවන් පාලම අසල මෙම මාර්ග බාධකය යොදවා තිබූ අතර පොලිසිය විසින් ලොරි රථයක් පරීක්ෂා කරමින් සිට ඇති බවත් එම අවස්ථාවේ ලොරි රථයේ රිය සහායකයා සහ උප පොලිස් පරීක්ෂකවරයා මාර්ගය අසල රැඳී සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඒ වන විට වේලාව අලුයම 4.30 පමණ වී තිබේ. බොරැල්ල දෙස සිට පැමිණි වෑන් රථය එක්වරම මාර්ග බාධකය හරහා වේගයෙන් ධාවනය කිරීමත් සමඟ මෙම අනතුර සිදු වී ඇති බව මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ කොම්පඤ්ඤවීදියේ පිහිටි පොලිස් නිල නිවාසවල පදිංචිව සිටි එම්. පියංකර (52) නැමැති උප පොලිස් පරීක්ෂකවරයා යන අය සහ අක්මීමන පොලිස් වසමේ වළහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් බුද්ධික යන අය බවට හඳුනාගෙන ඇත.

වෑන් රථයේ රියැදුරු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියයි. සිද්ධිය වන අවස්ථාවේ වෑන් රථයේ රියැදුරු බීමත්ව සිටියාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා තලංගම පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

Leave a Comment