කළුගඟේ මැණික් නිධියෙන් මාස දෙකට කෝටි 5ක මැණික්

කිරිඇල්ල, හැරනියාවක කළුගගේ වක්කලම නමැති මැණික් නිධියේ මේ වනවිට රත්තරනුත් සොයා ගැනීමට හැකියාව පවතින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ 24 දා එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

පුද්ගලික සමාගමක් වන ලෝටස් ඉන්ටර්නැෂනල් සමාගම විසින් මෙම කළුගඟේ හැරනියාවක, වක්කලම නමැති මැණික් නිධිය ඉකුත් ජනවාරි මාසයේ ලක්ෂ 1270 ට මිලදී ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ 2017 ක‍්‍රියාත්මක වූ ටෙන්ඩරයකට අනුවය. මෙහි කොන්දේසි වනුයේ සොයා ගන්නා මැණික් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවිකර ඉන් සියයට 50 ක් රජයටත්, සියයට 25 ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලටත්, ඉතිරි සියයට 25 මිලදී ගත් පුද්ගලික සමාගමටත් හිමිවන අයුරිනි.

මෙහිදී වැඩිදුරටත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ‘‘ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වසර 50 ක කාලය තුළ ලබාගත් ඉහළම මුදලට තමා මෙය අලෙවි වූයේ. දැනට මෙම ස්ථානයේ කළු ගඟ දෙපස ප‍්‍රජාමූල සමිති 6 ක අඩු ආදායම්ලාභීන් මෙහි වැඩ කරනවා. ඔවුන් කිරිඇල්ල සහ අයගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශවලට අයත්. මෙය අද ලංකාවේ දැවැන්තම ව්‍යාපෘතියක්. කළු ගඟ මැද්දේ අඩි 40 කට අධික ගැඹුරක සිටයි මෙම මැණික් ඉල්ලම් ගොඩ ගන්නේ. තවත් අඩි 40 ක් විතර ගැඹුරට මෙම නීතිය පවතිනවා. අප අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සියලූ දේ සිදුවන්නේ. මෙයට ප‍්‍රදේශයේ යම් පිරිසක් විරෝධතාවය දක්වමින් උද්ඝෝෂණ පවා සිදුකළා. දැන් ඒ අයත් තේරුම් අරන් මෙතෙන අසාධාරණයක් නොවන බවට. මේ මාස 2 තුළ කෝටි 5 කට ආසන්න මැණික් මෙම නිධියෙන් සොයාගෙන තියෙනවා. ඒ අතරට කැරට් 700 ට අධික නිල් මැණිකක් හමු වී තියෙනවා. තව රතු, ගෙවුඩ වැනි මැණිකුත් හමුවී තියෙනවා. ඒවා එළැඹෙන අපේ‍්‍රල් අවුරුද්දට පෙර වෙන්දේසි කර අඩු ආදායම්ලාභීන්ට කොටස් බෙදාදීමට පියවර ගන්නවා. මෙම ස්ථානයේ රත්තරනුත් තියෙනවා. අප එම ඉල්ලම වෙනම ගෙඩගසනවා. මෙම අවස්ථාවට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රාදේශීය කළමනාකරු එච්. පී. කරුණාතිලක, කැණීම් ඉංජිනේරු ජනක වික‍්‍රමගේ ඇතුළු පිරිසක් සහභාගි විය.

Related posts

Leave a Comment