රටපුරා කුඩු බෙදූ හිටපු බුද්ධි සාමාජිකයා අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිටින නේවි රුවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් තොග රට පුරා බෙදාහරිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බව කියන නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු වන නේවි කසුන් නමැත්තා පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකය මගින් 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් සපුගස්කන්ද පොලිසියේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත නේවි කසුන් නමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම කොස්තාල්වරයා වැලිසර ළය රෝහලේ පොලිස් මුරපළට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සතුව තිබී රුපියල් හතළිස් ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් ද සොයාගෙන තිබිණි.

නේවි රුවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් හෙරොයින් තොග දකුණු පළාතේ සහ හලාවත ප‍්‍රදේශවල සිට වැගන්ආර් රථයක් යොදාගෙන කොළඹට ප‍්‍රවාහනය කර ඇත්තේ මෙම කොස්තාපල්වරයා සහ නේවි කසුන් නමැති සැකකරුවන් දෙදෙනා විසින් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් තොග කොළඹට ගෙනැවිත් රට පුරා බෙදාහැර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකරුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් සතුව තිබූ, කොරෝනා ඇඳිරිනීතිය සමයේ නිකුත් කළ ඇඳිරිනීති බලපත‍්‍රයක් ද පොලිසිය සොයාගෙන ඇත. පොලිසිය සැක පහල කරන්නේ ඇදිරිනීතිය කාලසීමාවේ දී මෙම බලපත‍්‍ර යොදාගෙන හෙරොයින් ප‍්‍රවාහනය කරන්නට ඇති බවයි.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment