උෂාන් ඔලිම්පික් වරම් පෙනෙන මානයට උස පැනීම් නව ශ‍්‍රී ලංකා වාර්තාව සමගින් – මේ වසරේ ලොව තෙවන හොඳම දක්ෂතාව

ඔලිම්පික් ක‍්‍රීඩක මංජුල කුමාර විජේසේකර සතුව තිබූ වසර 16ක් පැරණි උසපැනීමේ ජාතික වාර්තාව තමන් සතු කරගැනීමට ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන උෂාන් තිවංක ඊයේ (28 වැනිදා) සමත් විය.

2004 වසරේදී මංජුල කුමාර විසින් තබන ලද වාර්තාව බිඳදැමීම සුවිශේෂීවන්නේ පෝලියෝ රෝගය නිසා දෙපා වාරුනැති ලංකාවේ සිටින තම දෙමාපියන් වෙනුවන් යුතුකම් ඉටුකිරීම සඳහාත්, අධ්‍යාපනකටයුතු සඳහා අවශ්‍ය මුදල් උපයාගැනීමටත් දැඩි ජීවන අරගලයක යෙදෙන අතරතුර මෙම විශිෂ්ට ජයග‍්‍රහණය අත්කරගැනීමයි.

මෙම මස මුලදී මංජුල කුමාරගේ ගෘහස්ත ජාතික වර්තාවද තමන් සතුකරගත් තිවංක, ඊයේ දින අමෙරිකාවේ පැවති ටෙක්සාස් රිලේස් තරගාවලියේදී මීටර 2.28ක උසක් තරණය කරමින් ජාතික වාර්තාවද (එළිමහන්) තමන් සතුකර ගනු ලැබීය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් මලල ක‍්‍රීඩාවට අත්පොත් තැබූ තිවංක මේ වනවිට ටෙක්සාස් ඵ් කොමර්ස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වලාභී පළමු වසර ශිශ්‍යයකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටී. ඊයේ දින ඔහු විසින් තරණය කරන ලද උස මේ වසරේ දී ලෝකයේ ඕනෑම ක‍්‍රීඩකයකු විසින් එළිමහන් උසපැනීමකදී දක්වන ලද තෙවන හොඳම දක්ශතාව වේ.

තම ජයග‍්‍රහනයෙන් පසු අදහස් දැක්වූූ තිවංක ”මේ ජයග‍්‍රහනය මට ලොකු හයියක්. මං කාලයත් එක්ක ලොකු සටනක් කරන ගමන් ඉන්නෙ. මේ පාර විභාගයට හොඳට ලකුණු ගත්තෙ නැත්නම් මට ක‍්‍රීඩාකරන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා මට පාඩම් වැඩවලට වැඩි බරක් දෙන්න වෙලා තියෙන්නේ.

”මේ පැනපු උස නිසා මට ලොකු සහනයක් තියෙනවා. දැන් මට තව එක පාරක් මීටර් 2.25ක විතර උසක් පැන්නත් වර්ල්ඞ් ? රැන්කින් (ලෝක ශේණිගත කිරීම්) වලින් ඔලිම්පික් යන්න පුලූවන් වේවි’’. යැයි කියා සිටියේය.

මෙම වසරේ ටෝකියෝ ඔලිම්පික්

තරගාවලිය සඳහා ලෝක මලල ක‍්‍රීඩා සංගමය උස පැනීම සඳහා ඉතා අපහසු මීටර් 2.33ක පරිසාදන මට්ටමක් ඉදිරිපත් කර ඇති අතර පරිසාදන මට්ටමට ළඟාවන 12 දෙනකු සහ එම කී‍්‍රඩකයින්ට අමතරව ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළින් සිටින 20 දෙනකු පිරිමි උසපැනීම සඳහා තෝරා ගනු ලබයි.

”කොවිඞ් තත්වය නිසා විශ්වවිද්‍යාලයෙන් දෙන ශිෂ්‍යත්ව අරමුදල් අඩුවුණා. ඒක නිසා මම (ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්න) ප්ලාස්ටික් බෝතල් එකතුකරනවා. එහෙම කරල මුදලක් එකතුකරනවා. කාලය කලමනාකරණය කරගන්නෙ ලොකු ගේමක් දීලා. මට ලංකාවේ මීඩියා වලින් ටීවී චැනල් වලින් එහෙම කතාකරනවා නමුත් ගොඩක් වෙලාවට වෙලාවක් දීගන්න බැරිවෙන්නෙත් කාලය සමග කරන තරගය නිසා. මගේ ලොකුකමක් නැහැ. යැයි උෂාන් වැඩිදුරටත් කියා සිටියේය.

අමෙරිකාවේ වෙසෙන ආසියනු පදක්කම්ලාභී ඔලිම්පික් ක‍්‍රීඩක නාගලිංගම් එතිර්වීරසිංහම්ගේ මගපෙන්වීම මත 2018දී ප‍්‍රථම වරට ඇමෙරිකාවට යන උෂාන් තිවංකට ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලබාගැනීම සඳහාද දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් සුවකර ගැනීම සඳහා තම අතින්ම වියදම් දරා ගනිමින් චීනයට යන ඔහුට එම තත්වය සම්පූර්ණයෙන් සමනය කර ගැනීමට නොහැකිවීම නිසා ඇමෙරිකානු විශ්වවිද්‍යලයන් මහින් සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට නොහැකි විය. එමනිසා විශ්වවිද්‍යලයට ඇතුළුවීම සඳහා උෂාන්ට රුපියල් ලක්ශ 16ක මුදලක් වැය කරන්නත් සිදුවී තිබේ. එ අනුව උෂාන් එය ලබාගෙන තිබුණේ 2019 ජාතික ක‍්‍රීඩා උළෙලේදී දක්ෂතම ක‍්‍රීඩකයා වීම හේතුවෙන් ත්‍යාග ලැබූ කාර් රථය විකිණීමෙනි.

උශාන්ගේ දක්ෂතා ඉතා උනන්දුවෙන් විශ්ලේෂණය කරන ඔලිම්පික් ක‍්‍රීඩක එතිර්වීරසිංහම් මෙම මස මුලදී අදහස් දක්වමින් උෂාන් නොවැරදීම මෙම වසරේ ජුනි මාසයට ප‍්‍රථම ශ‍්‍රී ලංකා වර්තාව අභිබවනු ඇති බව කියා සිටියේය. ”මම හිතනවා ඔහුට මීටර 2.31ක් පනින්න පුලූවන් කියලා. ඒ ඉලක්කය ලොකු වැඩිනම් ශ‍්‍රී ලංකා වාර්තාවනම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ජුනි වලට ඉස්සෙල්ලා අලූත්කරයි.’’ යැයි එතිර්වීරසිංහම් එදා උෂාන් ගැන කියා සිටියේය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment